Tuesday, January 29, 2013

මිලිනව ගිය පෙම් සිහිනය...1

ය රුසියාවේ නිශ්නිරොව් නගරයේ කුඩා වීදියකට උදාවූ අඳුරු සැඳෑවකි.වීදිය පුරාම වූයේ ගොම්මන හා පාලුව පමණි.එහි වූ කුඩා නිවෙස්වල වැසියන්ගේ ජීවිත වටා එතී තිබුනේ දිළිඳු අසරණ බවකි.
එම වීදියෙහි කුඩා කාමරයක් තුල තරුණයන් කිහිපදෙනෙකු ලැගුම් ගෙන සිටියා.ඔවුන් ලොවින් නිබඳවම පැතුවේ නිදහස හා විනෝදයයි.එහෙත් නිරතුරුව ඔවුන්ගේ සිත් දොම්නස් කලේ විවිධ සමාජ ප්‍රශ්න හා සීමිත වූ ආදායම් තත්වයයි.

      මෙම අඳුරුබර සැඳෑවෙහි ඔවුන් සිය කුටියට වැදී කතිකා කලේ සති අග විවේකය ගත කරන්නේ කෙලෙසද යන්න ගැන.එකිනෙකා තුලින් මතු වූයේ විවිධාකාර මතයන්.එක්කෝ නගරයෙන් පිට නිහඬ ගම්මානයක් වෙත යන්නට හෝ නැතිනම් සුන්දර සෙන්ට් පීටර්ස්බර්ග් නුවර දවස ගෙවන්නට...කෙසේ හෝ අවසානයෙදී තීරණය උනේ "ඔකා ගඟේ" ඔරු පදිමින් සති අග විවේකය සොඳුරු කරගන්නට.
නමුත් මීලඟ ප්‍රශ්නය උනේ ඔවුන්ගේ විශේෂ අමුත්තන් වන්නේ කවුරුන්ද යන්න.එකවරටම ඔවුනට සිහිපත් වූයේ මෑතකදී ප්‍රංශයේ සිට පැමිණි යුවලක් ගැන.ඔවුන් හොඳ විනෝදකාමීන් බව නගරයේ කාගේත් පිළිගැනීම උනා.

ඔකා ගඟේ ඔරු පදින මෙම විනෝද ගමනට එම යුවලට ඇරයුම් කිරීම බාර උනේ ඔවුන් අතර සැමවිටම නිහඬව සිටින තරුණයාටයි.ඔහු ඉක්මනින් අනුන්ගේ සිත් ගැනීමට සමතෙක්.එහෙත් විනෝද වීමට වඩා ඔහු අගේ කලේ තමාගේ සීමිත මුදල ප්‍රයෝජනවත් දෙයකට ඉතිරි කර ගැනීමට.ඒගේම ඔහු ජීවිතය දෙස බැලුවේද ගැඹුරින්.නමුත් හිතවතුන්ගේ විනෝද ගමන ඔහුත් අනුමත කලා.

ඔහු නමින් මැක්සිම්...පසු කලෙක ලෝක පූජිත ශ්‍රේෂ්ඨ ගත්කතුවරයෙකු වූ මැක්සිම් ගෝර්කි...

      එක් සුවබර සැඳෑවක ගෝර්කි ගොඩ වැදුනා ඒ යුවල පදිංචි වී සිටි නිවෙසට.එහි මැද සාලයේ සුරුට්ටුවක් උරමින් උන් මහළු තරබාරු මිනිසෙකුටයි ගෝර්කි ඔහු ආ කාරිය මුලින්ම පැවසුවේ.

      "ඔල්ගා..."

මදක් කලබල වූ ඒ තරබාරු මිනිසා ගෙතුලට හැරී කතා කලා.

මද වේලාවකින් ගෙතුලින් ආවේ හීන්දෑරි සොඳුරු යුවතියක්.දිගැටි නිල් දෑස...අක් බමරු කෙස් කළඹ...තරුණ ගෝර්කිගේ හිත එක්වරම සසලව ගියා ඇය දුටු විගස.ඇගේ නිල් දෑස කෙතරම් සුන්දරද.? ගෝර්කිට එහෙම හිතුනා.

      "ඔබ පොලිස් කාරයෙක්ද.? "

ඈ කතා කලේ බියවූ දෑසකින්.ලැජ්ජාව ඔහුගේ සිරුර පුරා පැතිරී යන්න ගත වූයේ නිමේශයයි.සැබවින්ම ඔහුගේ ඇදුම් පැළඳුම් පොලිස් කාරයෙකුගේ වගේමයි.

      ඔහු ආ කාරිය දැන ගැනීමෙන් පසුව ඇය ඔහුව කැඳවාගෙන ගියා ගෙතුලට.ඔහු වෙත පුටුවක් ලංකරගත් ඇය තෙපලුවා ආගිය තොරතුරු හා ඇයගේ වතගොත...ඈ වෙතින් ගලා ආවේ අපුරූ සුවඳක්.
ඇය කෙතරම් රූමත්ද.? ඒ නිල් දෑසේ බැල්ම...සෙනෙහස් තෙපළුම් ලබන ජීවිතය කෙතරම් ප්‍රේමාන්විත එකක් වේවිද.? ගෝර්කි තනිවම හිතුවා.ඒ සොඳුරු මොහොතට ඉඩදී කාලය නොදැනිම පියමං කලා...

      "දැන් කොයි මොහොතක හරි වහින්න පුළුවන්..."

ගෝර්කි පියවි ලොවට ආවේ ඇගේ මහළු සැමියාගේ රළු කටහඬින්.ගෝර්කි අහස දෙස බැළුවා කවුළු දොරින්.පැහැදිලි අහස පුරා වැස්සක සේයාවක්වත් නැහැ.
සිය තරුණ  හැඩකාර තරුණ බිරිඳ සමග වැඩි ඇයි හොඳයියක් දක්වනවට ඔහු අකමැති වෙන්නැති.ගෝර්කිට එහෙම හිතුනා.එනිසා ඔහු අකමැත්තෙන් උනත් ඔවුන්ගෙන් සමුගෙන මගට බැස්සේ යලි පසුදින හමුවන බලාපොරොත්තුව හදවතේ කොනක තියාගෙන.

+  +  +  +  +  +             +  +  +  +  +  +                         +  +  +  +  +  +              +  +  +  +  +  +        
    
      සිය අඳුරු කාමරයේ ඇඳ මත වැතිරුණු ඔහුගේ හිතට ගලා ආවේ ඔල්ගාගේ සොඳුරු රුව....ඇගේ අහිංසක දෑස.....ඔහු තනිව සිනාසුනා...හිත පිරුණු සොඳුරු සිතිවිල්ලෙන්.ඉවසුමක් නැහැ ඔහුගේ හිතට...පසුදින උදාවෙන තෙක් ඇයගේ සොඳුරු වත දකින්නට...ඒ මියුරු තෙපුල් අසන්නට...



- මතු සම්බන්ධයි -

පසු සටහන -

   අදින් වසර 30 කට පමණ පෙරාතුව 1983 අප්‍රේල් මස මුතුහර සඟරාවේ මංගල කලාපයේ පලවී තිබූ මෙහි සම්පූර්ණ ලිපියේ රචකයා කවුරුදැයි එහි සඳහන්ව තිබුනේ නැත.එසේම ඉන්පසු කිසිම මොහොතක මෙම ලිපිය වෙනත් මාධ්‍යයකින් මට කියවන්නට හැකි වූයේද නැත.අවශ්‍යතාවය කොටස් කිහිපයක් ඉවත් කර එක් කර ඇත...ලිපිය දීර්ඝ වීම නිසා කොටස් කිහිපයකින් පලකිරීමට සිදුවූ බව සලකන්න......

Sunday, January 6, 2013

ආදරණීය පුංචි පුතේ..නුඹට හැකිනම්...

අවට සිටින හැම දෙනම තමන්ගේ හිස් අවුල් කරගෙන
එහි දොස් ඔබට පවරන විට,
ඔබට තම හිස අවුල් නොකරගෙන සිටිය හැකි නම්...

අවට සැම දෙනම ඔබව සැක කරන විට
ඔබට,
තමා ගැන විශ්වාස කළ හැකි නම්...
ඔබට එසේ කිරිමෙන් වෙහෙසට පත් නොවී
බලාපොරොත්තුවෙන් සිටිය හැකි නම්...

අනුන් ඔබ ගැන බොරු කියන විට,
ඔබට බොරු නොකියා සිටිය හැකි නම්...

අනුන් ඔබට වෛර කරද්දී,
වෛර නොකර සිටිමට ඔබට හැකි නම්...
එහෙත්,
අවැසි පමණට වඩා හොඳ බවක්
නොපෙන්වා සිටිය හැකි නම්...

සිහින දැකීමට හැකි වුවත්,
සිහින ඔබේ ස්වාමියා නොකරගෙන සිටිය හැකි නම්...

ඔබට සිතිය හැකි නමුත්,
චින්තනය ඔබේ පරමාර්ථය නොකර ගැනීමට හැකි නම්...

ජය පරාජය දෙකට මුහුණ දී,
ප්‍රතිරූපක බොරුකාරයින් දෙදෙනාටම,
එකසේ මුහුණ දිය හැකි නම්...

ඔබ කියු සත්‍යය දුර්ජනයින් විසින් විකෘතිකොට,
මෝඩයන් හසුකර ගන්නා උගුලක් ලෙස යෙදුවැයි,
අසා දරා සිටීමට හැකි නම්...

ඔබ මුළු දිවියම ගතකර ගොඩනැගූ දේ,
කැඩී සුණු විසුණුවී ගිය විට,
පහත් වී නැවතත් ගෙවීගිය මෙවලම්වලින් වලින් පවා නැවත
තැනීමට ඔබට හැකි නම්...

ඔබ දිනු සියලු දෑ එක ගොඩකට ගසා
එක ඔට්ටුවකට ලබා පැරදී,
නැවත මුල සිට ඇරඹීමට හැකි නම්...
පාඩුව ගැන වචන මාත්‍රයක්වත්
නොදොඩා සිටීමට හැකි නම්...

ඒවායේ ශක්තිය හීනවී ගොස්
සිටුව,නැවත වැඩ කරව්’ යැයි
කීමට පමණක් ඉතිරිව ඇති ශක්තියෙන්
තමාගේ හදවතට,
ස්නායුවලට හා බල නහර වලට අණ දීමට ඔබට හැකි නම්...

රුඳී සිටුවයි’ කීමට වඩා ශක්තියක්
ඔබ තුළ ඉතිරිවී නැතිවුවද,
වැඩ ඉසව්වේ රැඳී සිටීමට ඔබට හැකි නම්...

තමාට වඩා පහළින් සිටින ජනයා සමඟ ඇසුරු කළත්,
තමන්ගේ උසස් ගති කෙළෙසා නොගෙන සිටීමට හැකි නම්...

රජුන් සමඟ උරහිස් හැප්පුවත්,
සාමාන්‍ය ගති නැති නොකරගෙන සිටින්නට හැකි නම්...

සතුරකුටවත්, හිතැති මිතුරෙකුටවත්,
ඔබට, හානියක් කිරීමට නොහැකි නම්...

සියලු දෙනාම ඔබ ගැන බලාපොරොත්තු තැබුවත්,
කිසිවෙක් ඕනෑවට වඩ එසේ නොකරන්නේ නම්...

සමාව නොදෙන සෑම මිනිත්තුවකම,
තප්පර හැටක දිවිල්ලෙන් ඔබට පිරවිය හැකි නම්...

මේ මුලු පොළව හා එහි ඇති සියල්ල ඔබගේය...
මතුද නොව මාගේ පුත,
නුඹ සැබෑ මිනිසෙකි...

A poem by "Radyard Kipling"
සිංහල අනුවාදය : මහාචාර්ය පුෂ්පකුමාර වී. ප්‍රේමරත්න

ප.ලි.
වසර ගනනාවකට පෙර මේ කවි ටික ඉස්සෙල්ලම දැක්ක මොහෙතේ දැනුන හැඟීම මේ වෙලාවෙත් දැනෙනවා...රඩ්යාර්ඩ් කිප්ලිං 1895 දී තමන්ගේ පුතාට ලියපු මේ කවි පෙල එදාටත් වඩා අදට වලංගුයි.මොකද සල්ලි වලට තමන්ගේ ආත්මය පවා විකුණන මිනිසුන් බිහිවන යුගයක,සැබෑ මිනිසෙකු තැනීමට මෙය මග පෙන්වන නිසයි...
සිංහල අනුවාදය උපුටා ගැනීම Knowledgescope වෙබ් අඩවියෙනි...

Popular Posts

Total Pageviews

Powered by Blogger.

Followers

සුළඟ වගේ...... හිටියත් නෑ වගේ...නැතත් හිටිය වගේ....

My Blog List