Friday, October 25, 2013

E-mail address එකක් තිබුනනම් මම තාම Toilet හෝදනවා...

වාරයේ පොල් වැටෙන්නාක් වගේ යන MS Office course එකට ගිය සතියේ ගොඩවැදුනේ සති දෙක තුනකට පසුවය...මේ සතියේ තියෙන්නට තිබුනේ Access ගැන උනත් සර් උගන්නන්නට ගත්තේ Internet & E-mail ගැනය...මේ පාඩම ඉවර වී සර් කිව්ව කතාවක්ය...ඔහු කියපු හැටියට නම් මේක ඇත්තම කතාවක්ය...

ඔන්න එක කාලයක Microsoft එකේ job එකකට interview එකක් තිබ්බළු.job එක තමයි සමාගමේ “සනීපාරක්ෂක කම්කරු“,එහෙම නැත්නම් Toilet පිරිසිදු කරන එකළු...ඉතිං මේකට අයදුම් කරපු අයගෙන් “මැතිව්“ කියලා රස්සාවක්නැතිව වේලි වේලි හිටිය හාදයෙකුත් මේ පරීක්ෂණයෙන් සමත් උනා.
ඉතිං interview board එකෙන් මැතිව්ට කතා කරලා මෙහෙම කිව්වළු...

“බොහොම සතුටුයි...ඔයා රැකියාවට තෝර ගත්තා...අපේ ප්‍රතිපත්තියක් තියෙනවා පත්වීම් ලිපිය අතට නොදී E-mail කරලා එවන.ඒ හින්දා අපිට ඔබතුමාගේ e-mail address එක දෙන්න...“

කරුමේ කියන්නේ මේ හාදයා ගාව e-mail address එකක් තිබ්බේ නැහැළු...ඉතිං මූ ඒක කිව්වා විතරයි රස්සාවත් නොදී ආපහු එව්වළු...

ඉතිං මැතිව් Microsoft එකෙන් එලියට ඇවිත් යන කොට දැක්කළු පාරේ ස්ට්‍රෝව්බෙරි විකුනන තැනක්...ඉතිං මූත් එතනට ගිහින් ස්ට්‍රෝව්බෙරි ටිකක් අරගෙන යනකොට මැතිව් ට හිතුනළු ඒ ටික විකුණන්න...කොහොම හරි ගෙදරට යනකොට ලාභයකුත් තියාගෙන ස්ට්‍රෝව්බෙරි ටික විකුණන්න මේ හාදයට පුළුවන් උනා...ඉතිං මේකා කල්පනා කරාළු මේ වැඩේ ටික දවසක් කරලා බලන්න ඕනි කියලා...,පහුවදා ඉඳන් ස්ට්‍රෝව්බෙරි විකුණන්න පටන් ගත්තළු.

ඔන්න ඉතිං කාලයක් ගියාළු...ඔය අතරෙදි මහන්සිවෙලා වෙලඳාම දියුණු කරගත්තු මැතිව් පලතුරු ආනයනය හා අපනයනය කරන සමාගමක අයිතිකාරයෙක් උනා...ඉතිං දවසක් මැතිව් ට ඕනි උනා මේ ආයතනය රක්ෂණය කරගන්න...ඉතිං මේක ගැන රක්ෂණ සමාගමකට දැනුම් දුන්නාම දවසක් රක්ෂණ නියෝජිතයෙක් ඇවිත් මැතිව්ව හමුඋනා.

“සර්ගේ වැඩේ ඔක්කොම හරි...ඉතුරු වෙලා තියෙන්නේ ඒකේ විස්තර සර්ට දෙන එක විතරයි.මට ඔබතුමාගේ e-mail address එක දෙන්න...මම ඒකට එවන්නම්.“

කියලා රක්ෂණ නියෝජිතයා කිව්වම මැතිව් මෙහෙම කිව්වා.

“මට තාම e-mail address එකක් නෑ.“

රක්ෂණ නියෝජිතයට පුදුමයිළු මෙච්චර ලොකු ව්‍යාපාරිකයෙක් ලඟ e-mail address එකක් නෑ කිව්වම.ඉතිං ඔහු කිව්වළු,

“සර් e-mail address එකක් නැතුව මේ වගේ තැනක ඉන්නවනම් e-mail address එකක්තිබුනනම් අද කොතනක ඉඳීද..?“

කියලා.මේක අහපු මැතිව් කට කොනකින් හිනාවෙලා මෙහෙම කිව්වළු.

“e-mail address එකක්තිබුනනම් මම මේ වෙලාවෙත් Microsoft එකේ Toilet හෝදනවා.“

  +++                  +++                    +++                    +++                  +++              +++             +++

මේක කිව්ව සර් මේකෙන් ලමයින්ට පැහැදිලි කලේ e-mail address එකක් තියෙන එක ඒ තරම් දෙයක් නොවෙන බව...
ඒත් මට හිතුනු දේ නම් හැමදෙයක්ම වෙන්නේ හොඳට හා දෙයක් අහිමි වීමෙදි ඊටත් වඩා හොඳ දෙයක් ලැබෙන්න ඉඩ තියෙනවා කියන එක...කියවන අයට නම් කොහොම හිතෙයිද දන්නෑ...


Wednesday, October 16, 2013

මතක මංසල...



අතීතයේ ඉස්සරම දවසක

අහම්බෙන් මුණගැහුන...

නෙතින් නෙත යාවෙලා

ආදරෙන් සිත් බැඳුන...

මල් පිපුණු තුරු සෙවණ

එදා වගෙ ඇත තවම...
නුඹ නැතත් මම නැතත්
ඉතිං එහි පෙර ලෙසට...

All rights resrved.Registerd@2013/10/16

Thursday, October 10, 2013

සදාදරණීය ‍"චේ"... - Dear "Che"...

http://25.media.tumblr.com/tumblr_lzvf4o2PEE1qeu6ilo1_400.jpg" ඔබ සැබෑ මිනිසෙකුනම්,ඔබ අසල සිටින්නාට කිසිවෙකු හෝ එල්ල කරන අතුල් පහරේ කම්පනය ඔබටද දැනිය යුතුය."
             - චේ -



දේශසීමා,ජාති,කුලගොත් නොසලකා සමස්ත මානව වර්ගයාට මෙන්ම,මනුශ්‍යත්වයටද අපමණ ආදරය කල අර්නස්ටෝ චේ ගුවෙරා හෙවත් “චේ“ නැමැති ඒ සොඳුරු මිනිසා ඝාතනය කර අද දිනට (09) වසර 46 ක් සපිරේ.හිතුවක්කාරයෙකුගේ සටහන්හි අද ලියවෙන්නේ ඒ සොඳුරු මිනිසා පිළිබඳ තබන සටහනකි...
 
චේ කියන නම මට අහන්න ලැබෙන්නේ මම පුංචි කාලෙදි උනත් චේ ගැන මට කියවන්න ලැබෙන්නේ ඊට කාලෙකට පස්සේ ලංකාදීප දියත ආරම්බයේදී පලවූ “නොදන්නා මිනිසුන් වෙනුවෙන් ජීවිතය පූජා කල දොස්තර මහත්තයා“ තියන ලිපි පෙල හරහා...මිනිසෙකුට එවන් කැප කිරීම් කරන්න පුළුවන්ද කියලා වෙලාවකට පුදුම හිතුනා වගේම එදා ඉඳන් අද වෙනකම් ඔහුට සමකල හැකි විප්ලවවාදියෙකු,දේශපාලකයෙකු,මානව හිතවාදියෙකු හමුනොවූ බව නොරහසක්...

මිනිසුන් තලාපෙලා පාගා දමන දුෂ්ඨ පාලන ක්‍රමයක් වෙනුවට මිනිසුන්ට ආදරය කරන,ඔවුන් රකින පාලන ක්‍රමයක් බිහිකිරීම සිය දර්ශනය හා අරමුණ කරගත් චේ ගේ ප්‍රතිරූපය ඔහු ඝාතනය කර 46 වසරක් ගත උනත් නොනැසී පැවතීම තුලින්ම මේ සොඳුරු විප්ලවවාදියාට මිනිසුන් කොතරම් ආදරය කරනවාද යන්න සිතාගත හැක.ලොව කවර හෝ කොදෙව්වක ජීවිත් වන දුක්විඳින මිනිසුන් වෙනුවෙන් නැගී සිටීමට ඔහු දෙවරක් සිතුවේ නැත.ආර්ජන්ටිනාවේදී උපත ලද ඔහු කියුබානු විප්ලවයට උරදී ජයග්‍රහණය කරා මෙහෙයන්නේද,අවසන බොලිවියානු විප්ලවය මෙහෙයවමින් ජීවිතය පූජා කරන්නේද ඒ නිසාමය.කුඩා කල පවා මිතුරන් අතරදී කිසිවෙකු අසාධාරණයට ලක් වී නම් ඒ වෙනුවෙන් පෙනී ඔහු නොපැකිලව ඉදිරිපත් විය.සමහර අවස්ථාවල තමා අසාධාරණ ලෙසද දුර්වලයාගේ පස ගත් බව පසුකාලීනව ඒ අතීතය සිහිපත් කරමින් චේ පවසා තිබුනි...
http://upload.wikimedia.org/wikipedia/commons/a/a1/Che_Guevara_-_Familia.jpg
චේට සමකාලීනව රුසියාවේ වී.අයි.ලෙනින් වැන්නන් බිහිවුවද ඔවුන් සියල්ල චේ අභියස දෙවන තැනට වැටෙන මා දකින කරුණ නම් චේ සතුවූ දේශ සීමා රහිතවූ මිනිසුන් කෙරෙහි වූ ආදරයමය...ලෙනින් කැප උනේ රුසියන් ජනයා වෙනුවෙන් හා රාජ්‍ය බලය වෙනුවෙනි.වියට්නාමයේදී හෝ චී මිං නැමැති සිරුරින් කුඩාවූ දැවැන්ත මිනිසා නැගී සිටියේ වියට්නාම් ජනයා වෙනුවෙනි.නමුදු චේ නම් වූ විප්ලවවාදියා කියුබානු විප්ලවය මෙහෙයවූයේ තමාට කිසිදු සම්බන්ධයක් නොමැති රටක ජනතාව වෙනුවෙනි.එයින් පසු සිය ආදරණීය සටන් සඟයා වූ කැස්ත්‍රෝ ගෙන් ලද පදවි තානාන්තර සියල්ල අතහැර දිලිඳුකමින් හා රුදුරු පාලකයන්ගෙන් පීඩාවට පත්වූ ජනයා බහුතරයක් වාසය කල අප්‍රිකානු මහද්වීපය කරා පිටත්ව ගොස් අවසනදී බොලිවියානු විප්ලවයේදි මිය යන්නේද කිසි දිනක නොදන්නා මිනිසුන් වෙනුවෙනි...ඒ අතින් ගත්කල චේ තරම් මිනිසාට හා මනුෂ්‍යත්වයට ආදරය කල විප්ලවවාදියෙක් අතීතයෙන් හමුනොවෙන්නා සේම,අනාගතයේදී බිහිවේද යන්න සැක සහිතය...

http://www.rnw.nl/data/files/imagecache/must_carry/images/lead/article/2013/05/el_che_leyendo_la_nacion_650_0.jpg

චේ මියගොස් 46 වසරක් ගතවූ නමුත්,ජීවත්ව සිටි චේ ටත් වඩා මියගිය චේ වඩාත් ප්‍රබලව වර්තමානයේදි සමාජගතව සිටී.39 වසරක් වූ කෙටි කාලයකින් යුතුවූ ඔහුගේ ජීවිතය,සියවසක් ජීවත්වූවෙකුට වඩා අර්ථ සම්පන්න හා අත්දැකීම් වලින් යුතු එකක් විය...එයින් සමාජයට ගත හැකි දේ බොහෝ වී නමුදු එය එසේ වනවාදැයි යන්න සැක සහිතය.සිය දේශපාලන අරමුණු උදෙසා චේ ගේ රුව පෙරට දමමින් හැසිරෙන බොහෝ කාඩ්බෝඩ් වීරයන් සිය පටු අරමුණු වෙනුවෙන් ඔහුව නැවත නැවතත් ඝාතනය කරති.නූතන පරම්පරාවේ බොහෝදෙනා චේ ගේ වීරත්වය කෙරෙහි ආකර්ශණය වුවද, ඔහුගේ ගතිගුණ,අරමුණු හා ඔහු දකින්නට පැතූ ලොව පිලිබඳ නිසි කියවීමක් කර ඇතිදැයි ගැටළුවකි.එබැවින් විය යුතුව ඇත්තේ හදවතින් නොව බුද්ධියෙන් චේ ව කියවීමයි...

 චේ ගේ මුළු ජීවිතය සම විෂය ප්‍රදේශයකදීම පරමාදර්ශී විය.
එසේම ඔහු අසීමාන්තික ලෙස ආධ්‍යාත්මික බැවින් අවංක ස්වකීය
ප්‍රතිපත්ති මත අචලව හුන්,
අනාගතය දෙස විචාරශීලීව බැලු,
අනාගත මානවය දෙස දයාර්ධ හැදින් බැලු,
මානව සංහතියේ අනාගතය දෙස  බැලු,
සියල්ලටම ඉහලින් මනුෂ්‍ය සහ සදාචාරාත්මක වටිනාකම් අගැයු මිනිසෙකු වුවෙහිය.
මේ සියල්ල පරයමින් ඔහු ආත්ම විරහිත බවෙහි,
මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් තමා සතු සියලු දෑ කැපකෙරු
උතුම් මිනිසෙකුගේ සහ ආත්ම පරිත්‍යාගයෙහි ප්‍රතිමුර්තියක් වුවෙහිය.

මේ වනාහි මා දන සිටි ආත්ම  විරහිතභාවයෙන් අගතැන්පත්
සුවිශේෂී  එමේන්ම උතුම් මිනිසුන් අතලොස්ස අතරින් කෙනෙකි.

චේ ආදරණීය සටන් සඟයා වූ කියුබාවේ සදාදරණීය නායක ෆිදෙල් කැස්ත්‍රෝ ඔහු පිළිබඳව නිර්වචනය කලේ එලෙසින්ය.
 
 http://i3.mirror.co.uk/incoming/article1324482.ece/ALTERNATES/s615/Che%20Guevara-1324482

ආදරණීය චේ...
මේ නූඹ වැනි සැබෑ මිනිසුන් යලි යලිත් මිහිමත බිහිවිය යුතු යුගයයි...

 http://www.luzdelevante.com/wp-content/uploads/2013/07/Che-Guevara.jpg

පසු සටහන -
              චේ පිලිබඳව තැබූ මේ සටහන හරි නම් තබන්නට තිබුනේ ඊයේ දිනයේය.ලොවම දන්නා ඒ සොඳුරු මිනිසා පිළිබඳ එකම දේ නැවත නැවත ලියා ‍සටහන දීර්ඝ කිරීමට අවැසි නැත.චේ පිළිබඳ වැඩි දුර තොරතුරු පහත සබැඳි මගින් කියවිය හැක.

01.http://si.wikipedia.org 
02.http://chayawasa.blogspot.com 
03.http://asidisimaanaya.blogspot.com 

Popular Posts

Total Pageviews

Powered by Blogger.

Followers

සුළඟ වගේ...... හිටියත් නෑ වගේ...නැතත් හිටිය වගේ....

My Blog List