Recent Posts

Friday, March 29, 2013

මේ සංඝායනාවකට කාලයයි...

        
හවල පුරාවටම ගත පෙලපු සැඩ හිරු රැස් වලට මද විවේකයක් දෙන්න වගේ,හිටි හැටියේම තදට පොද වැස්සක් ඇද හැලෙන්න පටන් ගත්තේඅහසේ වැස්සක සේයාවක්වත් නොතිබුනු වෙලාවක.පාර පුරා හිටිය හැමෝම වැස්සෙන් බේරෙන්න අහල පහල තිබ්බ කඩපිල් වලට දුවලා ගියේ, පොද වැස්ස සැර වෙන්න ඒ හැටි වෙලාවක් ගත නොවුනු හින්දා.ටිකක් වෙලා පාර දිහා බලා උන්නු මං කම්මැළිකම යන්නත් එක්ක පත්තරයක් අතට ගත්තත් ඉබේම පාර දිහා බැලුනෙ යාන්තමට දැකපු රුවක් නිසා. 

තදින් ඇද හැළෙන පොද වැස්සෙ කුඩයක්වත් අත නැතිව විදෙස් හිමි නමක් සුපුරුදු ගමනින් ඉදිරියට ඇදෙනවා .වැස්සෙන් බේරෙන්න කඩපිළකටවත් ගොඩ නොවී උන්වහන්සේ නගරය මැදින් ඈතට ගියා.
කිහිප දිනකින් දැනගන්න ලැබුණෙ උන්වහන්සේ අසළ විහාරස්ථානයක වැඩ ඉන්න රුසියන් ජාතික හිමිනමක් කියලා.

ආපහු දවසකදී  නැවතත් මට ඒ රුසියානු හාමුදුරුවෝ මුනගැහුනා...භාෂා ප්‍රශ්නය නිසා එතරම් දුරට අදහස් හුවමාරු කරගත නොහැකි වූවත්,උන්වහන්සේගේ භාෂා විලාෂය හා සතුටින් පිරුණු මුහුණ දකින විට, හැමෝටම දැනෙන්නේ පහන් හැඟීමක්...

තවත් දවසක පාත්‍රයක් අතින් ගත් සවාමින් වහන්සේ නමක් නගරයේ කඩ සාප්පු වලට ගොඩ වෙනවා .බැලූ බැල්මට පිඩුසිඟා වඩිනවා වගේ වුණත් උන් වහන්සේ අත තිබූ පාත්‍රය විවර කළාම ඒ තුළ තිබුණෙ මුදල් විතරයි...ඒකෙ පුදුම වෙන්න දෙයක් නෑ වෙන්නත් පුළුවන්.ඒත් අසළ මුස්ලිම් ජාතිකයෙකුගේ කඩයකින් මුදල් නොලැබුණාම  උන්වහන්සේ (සමාවෙන්න...මේ සිවුරු දාපු පුද්ගලයා) අර මුස්ලිම් තරුණයාට පරුෂ වචනයෙන් බැන වදින්න අමතක ක‍ළේ නෑ.අදටත් මාසයකට දිනක් හෝ දෙකක් නගරයේදී මොහු දකින්න පුළුවන්.


මේ සිද්ධීන් දෙකම හදිසියේ මතක් උනේ මෙවර ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ "වෙනස" වැඩසටහනේදී නාමල් උයනේ භාරකාර පූජ්‍ය වනවාසී රාහුල හිමියන් කළ ප්‍රකාශයක්...


"අපේ ගොඩක් හාමුදුරුවො කරන්නෙ සසර කෙටි කර ගන්න එක නෙවී, දිගුකරගන්න එක."

උන්වහන්සේ එහෙම කීවා


ඒ ප්‍රකාශය මොනතරම් ඇත්තද කියලා  අද සමාජය  දිහා බැලුවම පේනවා.අද පැවිදි වෙන කිදෙනෙක් නිවැරදි අවබෝධයකින් ක්‍රියාකරනවද කියන එක ගැටළුවක්.විදේශිකයන් වැඩි වශයෙන් බුදු දහම වැළඳගෙන ඒ අනුව ක්‍රියා කරද්දි අපේම රටේ සමහරු සිවුරක් දාගෙන උතුම් වූ බුදුදහමට වගේම සිල්වත් ගුණවත් සංඝයා වහන්සේටත් අගෞරව වෙන විධියට හැසිරෙනවා.


උපතින්ම බුදුදහම උරුම කරගෙන එන අපිට වඩා විදෙස් රටවල ඉපිද බුදුදහම වැළඳ ගන්න අය සැබැවින්ම ධර්මයේ හැසිරෙන බවනම් අද වෙනව්ට නොරහසක්.ඒ වගේම ඹවුන් ඒ තුළින් ජීවිතේ දකිනවා.දෙදහස් පන්සිය වසරක ඉතිහාසයක් ගැන පුරසාරම් දොඩන අපි, අපි අතින් අපේ ආගමට වගේම, ජාතියටවත් සැබැවින් මෙහෙයක් වෙනවද කියලා හිතුවොත්;

      
  මට හිතෙන්නේ ,අපි බොහෝ දෙනෙක් කරන්නේ,මහා ලොකුවට අපි බෞද්ධ කියලා ලොකුවට බෝඩ් එකක් ගහගෙන කාට හරි කඩේ යන එක...සිවුරක් නොදරන අපි වගේම, ඇතැම් ස්වාමින් වහන්සේලාත් කරන්නේ ඒක.
රටට පේන්න අපි බෞද්ධ කියනවට වඩා...ආදර්ශයෙන් ඒ බව පෙන්වනු මිස; අනුන් පහත් කරමින්;හෙළා දකිමින්;හැහහැසිරීම බුදුදහමේ ඉගැන්වීම නොවේ.ලෝකයට පේන්න චීවරයක් දරමින් අපේ ඇතැමුන් මේ යන්නේ කොහාටද කියන එක ප්‍රශ්ණයක්.(සමාවන්න, මේ කියන්නේ අපේ රටේ ඉන්න සිල්වත් ..ගුණවත් හිමිවරුන් ගැන නොවේ.උන්වහන්සේලාට හිස නමා ගරුකරනවා.) මෙවැන්නන් නිසා හෙට දිනයේ බුදුසසුනේ පිරිහීම ඇරඹෙන බව නම් කිව හැකියි;

     
  පිරිහෙන්නට හැර බලා ඉමුද, එරෙහිව යමක් කරනවාද කියන එක අපේ වගකිවයුත්තන්ට දැනිය යුතු කාලය මේ කියලයි මට සිතෙන්නේ...දෙදහස් පන්සිය ගණනක බෞද්ධ ඉතිහාසය තම මඩිය තරකරගන්නා හොර චීවර ධාරින් නිසා වැනසෙන්නට දෙනවාද කියා සිතමු.හොර චීවර ධාරින් පමණක් නොව රටේ වගකිව යුත්තෝද, සාමාන්‍ය  පුද්ගලයෝද  මේ විනාශය කරමින් සිටියද, වහාම පියවරක් ගත යුත්තේ හොර චීවර ධාරීන්ගේ ක්‍රියාවන් ගැනයි.මක්නසාද යත්, කැළේ ගහක් නසන්නේ, කැළේ ගහක්ම වන බැවිනි.

Read More

Wednesday, February 27, 2013

මිලිනව ගිය පෙම් සිහිනය...3 (අවසාන කොටස)


     නීති ලිපිකරුවා හොඳ කඩවසම් තරුණයෙක්...නමුත් පම්පෝරිකාරයෙක්.එහෙයින් ගෝර්කි ප්‍රිය කලේ නැහැ ඔහුගේ ඇසුර.නමුත් ඔල්ගා බෙහෙවින්ම ප්‍රියකලා ඔහුගේ ඇසුර.නිදිමතවූ සිඟිති දියණියගේ හැඬුම් හඬ පවා ඇයට අමතක උනා ඔහු හා තෙපලන මොහොතේදි.

ගෝර්කි ඉන් වින්දේ වේදනාවක්...ඔල්ගා ගැන කලකිරීමක්...


ඔල්ගාගේ උපන් දිනයට වටිනා තෑග්ගක් දෙන්නට තරම් වත්කමක් තිබුනේ නැහැ ගෝර්කිට.ඒත් කලාත්මක හදවතක් තිබුනු ඔහුඇයට තෑගි දුන්නා කදිම සිහිවටනයක්.ඒ ඔහුගේ පිවිතුරු සෙනෙහස සමගින් රතු රෝස මල් කිනිත්තක්.නමුත් නීති ලිපිකරුවා ඇයට දුන්නේ වටිනා තෑග්ගක්.ඒ රන් කවරයක් සහිත අගනා අත් ඔරලෝසුවක්.ගෝර්කි ආදරයෙන් දුන් රතු රෝස මලට වඩා ඇය ඇළුම් කලේ ඒ ඔරලෝසුවටයි.එය කොතරම් අභාග්‍යයක්ද.? ගෝර්කි ඉන් වින්දේ දැඩි වේදනාවක්.ඔහුගේ දෑස කඳුළින්තෙමුනා ප්‍රේමය නොවිඳ තනි වූවෙකු ලෙසින්.ගෝර්කි තේරුම් ගත්තා ඈ ආදරේ දැන් ඔහුට නොව නීති ලිපිකරුවාට බව.

   ඔල්ගා ගෝර්කිව අප්‍රිය නොකලත් ඔහුගේ සාහිත්‍යය කටයුතු ගැන සැලකිල්ලක් දැක්වූයේ නැහැ.ඇය පැතුවේ කෙලිලොල් බව...සැහැල්ලුව...දිනක් ඔහු උදෑසනම ඔල්ගාව අවදි කලා.ඒ ඔහු රැයක් පුරා ලියූ කෙටි කථාව ඇය ඉදිරියේ කියවන්නට.

     “මොකක්ද ඔයාට ඔය තරම් ලස්සන කථාව.? “

ඇය ඔහුගේ උරහිසට හේත්තු වෙමින් විමසුවා.ඔහු එය කියවූයේ ප්‍රීතියෙන්.එය අසා සිටියා ඔල්ගා නිහඬවම.මොහොතකින් ඇයට තලිත් නින්ද ගියා.පැත්තකට ඇලවුනා ඇගේ හිස.පියකරු මුහුණඋණුසුම් කලා ගෝර්කිගේ උරහිස.කතාව කියවීම නතර කල ඔහුගේ හිතට ගලා ආවේ දැඩි කළකිරීමක්.ඔහු මෙතරම් ආශාවකින් ලියූ කතාව ඇය රූබලයක් තරම් වත් නොතැකූ හැටි...


      අඋ වෙතින්  මිදුනු ඔහු කවුළුවෙන් වීදිය දෙස බලා සිටියා මදක්.ප්‍රේමයක් නැති හිතක් පසුපස දිවයාම මුලාවක්.ඇයට වඩා ප්‍රේම කිරීමට දෙයක් ඔහුට තිබුනා.ඒ සාහිත්‍යය හා රුසියානු ජනතාව.

වැසිබර උදයක ඔහු සියල්ල සූදානම් කරගත්තා  ඇගෙන් සමුගන්නට.ඒත් සිඟිති දියණියගෙන් හා ඇයගෙන් වෙන්වීම උහුලන්න බැරි තරමේ වේදනාවක් ඔහුගේ හිතට.
 
      “ ඔල්ගා අපිට වෙන්වෙන්න කාලය දැන් අපි ලගටම ඇවිත් තියෙන්නේ.“

ඔහු කතාකලේ ඉවත බලාගෙන.ඔහුට ඇතිවුනා ඔහු කෙරෙහිම අනුකම්පාවක්.


      “ අපේ ජීවිතත් ආදරයත් සාර්ථක වෙන්නේ නැහැ...කොච්චරකල් එකට ගෙව්වත් ඉතිරි වෙන්නේ පසුතැවිල්ල විතරයි.ඒ හින්දා අපි වෙන්වෙමු ඔල්ගා...“

ඔහුගේ කටහඬ නිහැඬියාව බිඳගෙන ගියා දුක්මුසු ස්වයකින්.ඔල්ගාත් ඉකිබිඳ හැඬුවා හිටි හැටියේම.කෙඳිරිලි හඬින් ඇරඹුනු එය වැලපීමක් උනා අවසානයේදී.ඔහු ඇය දෙස බැළුවේ අනුකම්පාවෙන්.ඒත් ආදරය කියන්නේ අරුත් සුන් විකාරයක් බව ඔහු තේරුම් අරගෙන අවසානයි.


ඒ වනවිටත් ගෝර්කි සිය ඇඳුම් කිහිපය මල්ලකට දමාගෙන අවසානයි.එකම එක වරක් සිය දියණිය හා ඔල්ගා දෙස බැලූ ඔහු මගට බැස්සා ජීවිතයේ  දිගු ගමනක් යන්න හිතාගෙන.
    වීදිය දිගේ මද දුරක් ගිය ඔහු ආපසු හැරී බැළුවා වසර ගණනක් බැඳි ආදරය සිහිපත්ව...ඔකා ගඟේ දිය රැල්ලෙන් මතුවූ පෙම් සිහිනය...ඒත් වන විටත් ගේ තුලට වැදී දොර වසාගෙන අවසානයි...


                            - නිමි -



ප.ලි.

සති කිහිපයක් පුරාවට ඔබ වෙතට ගෙන ආ ලෝක පූජිත ගත්කරු මැක්සිම් ගෝර්කිගේ පෙම් පුරාවත මින් නිමාවන වගයි...ඉන් ගත යුත්තක් තිබිනි නම් එය කුමක්දැයි සිතාගැනීමද ඔබට බාරය...
සිය ප්‍රේමයෙන් පැරදුනු ගෝර්කි ඒ නිසාම සිය ජීවිතයෙන්ද පලා ගියානම්... මැක්සිම් ගෝර්කි නම් වූ සුවිශිෂ්ඨ සාහිත්‍යධරයා අපට දකින්නට ලැබේවිද..?
ඒ මට සිතුනු එකම දෙයයි...

Read More