ගිම්හානයේ කෘෂව ගිලන්වී සුදුමැලිව
ඇදි ඇදී ඉකිගැසූ ගඟ නැවත පිරිපුන්ය...
දුෂ්කරයි කියා හැර යා යුතුද ජීවිතය
කටු පොකුරැ සිපගනිමි හෙට මලක් වනු පිණිස...
වසරක් ගෙවී ගිහින් නව වසරක් උදා වෙලා.රත්න ශ්රී
විජේසිංහයන්ගේ “වස්සානය” කවි පෙලේ එන මේ කවි පද කිහිපයෙන් නව වසරේ පලමු සටහන
තියන්න හිතුවේ ජීවිතය පිලිබඳ අලුතින් හිතන්න ගොඩක් දේවල් ඒ කවි පද ඇතුලේ තියෙනවා
කියලා හිතුන නිසයි...
ගෙවුනු වසරේ අපි හැමෝගෙම ජීවිතවල, සතුට
වගේම දුකත් රැඳී තියෙන්න ඇති.දරාගන්න බැරි තරමට දුක් කරදර ජීවිතවලට එනකොට, අපි
කාගේ කාගෙත් ජීවිතවල කඩාවැටීම් සිදුවෙන්න ඇති.හැබැයි...ඒ කිසිම දුකක්වත්
කඩාවැටීමක්වත් අපේ ජීවිතවල සදාකාලික නැහැ.
ජීවිතේ වෙලාවකට ගලාගෙන යන ගඟක්
වගේ.අවහිරයක් බාධාවක් නැතිව ගලන ගඟක් ලෝකෙ කොහෙවත් නැහැ වගේම දුක් කම්කටොළු වලින්
තොරව ජීවත් වෙන පුද්ගලයෙක් මේ ලෝකෙ කොහෙවත් නැහැ...
ලස්සනට පෙණ පිඬු නංවගෙන ගලා යන හැඩකාර
ගඟක් වැසි පොදක්වත් නැති ගිම්හාන කාලය ආපුවහම වතුර අඩුවෙලා ගිහින් ඒ තිබුනු ලස්සන
නැතිවෙලා යනවා...ඒ ගඟ ලස්සනයි කියපු අයම ඒ ගඟ දිහා බලන්නෙවත් නැතිව යනවා.
සතුටින් පිරිලා ඉතිරිලා ලස්සනට තියෙන
ජීවිතයකට දරන්නට බැරි තරම් දුක් කරදර එනකොට ඒ ජීවිතයේ තිබුනු ලස්සන වියැකිලා
ගිහින් මහ කාලකණ්නි කාලයක් ජීවිතයට එනවා.වෙලාවකට ජීවිතෙත් එපා වෙන තරම්...ගොඩක්
ආදරෙයි කියලා ලඟ උන්නු අය ගොඩක් දෙනෙක් ඒ වගේ කාලවලදී අපිව අතෑරලා යනවා.අන්තිමේදි
ඉතුරැවන්නේ අපිට ඇත්තටම ආදරේ කරන අතලොස්සක් දෙනා විතරයි.
ඕනිම ගිම්හාන කාලෙකට පස්සේ ඊලඟට එන්නේ
වසන්තය...ඒක සොබාදහමේ නියතියක්.එහෙම වස්සානය ආවම අර වියැලිලා කෘෂවෙලා තියෙන ගඟ
වැසි වැහැලා පිරිලා ඉතිරිලා යනවා.සමහරවිට අර කලින් තිබුනු ගඟටත් වඩා ලස්සනට...
ජීවිතෙත් ඒ වගේ...හැම කටුක කාලෙකට පස්සේ
ගොඩක් ලස්සනට ජීවිතේ ගෙවෙන විඳින්න ලැබෙන කාලයක් එනවා.අපිව අතෑරලා අපේ ජීවිත වලින්
ගිය අයට ඉරිසියා හිතෙන තරමට අපේ ජීවිත ලස්සන වෙනවා.හරියටම අර සොබා දහමේ නියතිය
වගේ...
ඔබේ ජීවිතවලත් මේ ගෙවෙන්නේ සතුටින් පිරැණ
කාලයක් වෙන්න ඇති.නැත්නම් දුකින් පිරැණ කාලයක් වෙන්න ඇති. ඒත් මතක තියාගන්න...දුක
කියන්නේ සදාකාලික දෙයක් නෙමෙයි...අද විඳින හැම දුකක්ම අනාගතයේ සතුටින් විඳින්න
ලැබෙන ජීවිතයකට පන්නරයක් වගේම හොඳ අත්තිවාරමක්...
හැම ගිම්හානයකට පස්සෙම වසන්තයක් එනවා...සත්තයි...
උදාවූ 2013 හැමෝටම සුබ නව වසරක් වේවා..!