Wednesday, February 27, 2013

මිලිනව ගිය පෙම් සිහිනය...3 (අවසාන කොටස)


     නීති ලිපිකරුවා හොඳ කඩවසම් තරුණයෙක්...නමුත් පම්පෝරිකාරයෙක්.එහෙයින් ගෝර්කි ප්‍රිය කලේ නැහැ ඔහුගේ ඇසුර.නමුත් ඔල්ගා බෙහෙවින්ම ප්‍රියකලා ඔහුගේ ඇසුර.නිදිමතවූ සිඟිති දියණියගේ හැඬුම් හඬ පවා ඇයට අමතක උනා ඔහු හා තෙපලන මොහොතේදි.

ගෝර්කි ඉන් වින්දේ වේදනාවක්...ඔල්ගා ගැන කලකිරීමක්...


ඔල්ගාගේ උපන් දිනයට වටිනා තෑග්ගක් දෙන්නට තරම් වත්කමක් තිබුනේ නැහැ ගෝර්කිට.ඒත් කලාත්මක හදවතක් තිබුනු ඔහුඇයට තෑගි දුන්නා කදිම සිහිවටනයක්.ඒ ඔහුගේ පිවිතුරු සෙනෙහස සමගින් රතු රෝස මල් කිනිත්තක්.නමුත් නීති ලිපිකරුවා ඇයට දුන්නේ වටිනා තෑග්ගක්.ඒ රන් කවරයක් සහිත අගනා අත් ඔරලෝසුවක්.ගෝර්කි ආදරයෙන් දුන් රතු රෝස මලට වඩා ඇය ඇළුම් කලේ ඒ ඔරලෝසුවටයි.එය කොතරම් අභාග්‍යයක්ද.? ගෝර්කි ඉන් වින්දේ දැඩි වේදනාවක්.ඔහුගේ දෑස කඳුළින්තෙමුනා ප්‍රේමය නොවිඳ තනි වූවෙකු ලෙසින්.ගෝර්කි තේරුම් ගත්තා ඈ ආදරේ දැන් ඔහුට නොව නීති ලිපිකරුවාට බව.

   ඔල්ගා ගෝර්කිව අප්‍රිය නොකලත් ඔහුගේ සාහිත්‍යය කටයුතු ගැන සැලකිල්ලක් දැක්වූයේ නැහැ.ඇය පැතුවේ කෙලිලොල් බව...සැහැල්ලුව...දිනක් ඔහු උදෑසනම ඔල්ගාව අවදි කලා.ඒ ඔහු රැයක් පුරා ලියූ කෙටි කථාව ඇය ඉදිරියේ කියවන්නට.

     “මොකක්ද ඔයාට ඔය තරම් ලස්සන කථාව.? “

ඇය ඔහුගේ උරහිසට හේත්තු වෙමින් විමසුවා.ඔහු එය කියවූයේ ප්‍රීතියෙන්.එය අසා සිටියා ඔල්ගා නිහඬවම.මොහොතකින් ඇයට තලිත් නින්ද ගියා.පැත්තකට ඇලවුනා ඇගේ හිස.පියකරු මුහුණඋණුසුම් කලා ගෝර්කිගේ උරහිස.කතාව කියවීම නතර කල ඔහුගේ හිතට ගලා ආවේ දැඩි කළකිරීමක්.ඔහු මෙතරම් ආශාවකින් ලියූ කතාව ඇය රූබලයක් තරම් වත් නොතැකූ හැටි...


      අඋ වෙතින්  මිදුනු ඔහු කවුළුවෙන් වීදිය දෙස බලා සිටියා මදක්.ප්‍රේමයක් නැති හිතක් පසුපස දිවයාම මුලාවක්.ඇයට වඩා ප්‍රේම කිරීමට දෙයක් ඔහුට තිබුනා.ඒ සාහිත්‍යය හා රුසියානු ජනතාව.

වැසිබර උදයක ඔහු සියල්ල සූදානම් කරගත්තා  ඇගෙන් සමුගන්නට.ඒත් සිඟිති දියණියගෙන් හා ඇයගෙන් වෙන්වීම උහුලන්න බැරි තරමේ වේදනාවක් ඔහුගේ හිතට.
 
      “ ඔල්ගා අපිට වෙන්වෙන්න කාලය දැන් අපි ලගටම ඇවිත් තියෙන්නේ.“

ඔහු කතාකලේ ඉවත බලාගෙන.ඔහුට ඇතිවුනා ඔහු කෙරෙහිම අනුකම්පාවක්.


      “ අපේ ජීවිතත් ආදරයත් සාර්ථක වෙන්නේ නැහැ...කොච්චරකල් එකට ගෙව්වත් ඉතිරි වෙන්නේ පසුතැවිල්ල විතරයි.ඒ හින්දා අපි වෙන්වෙමු ඔල්ගා...“

ඔහුගේ කටහඬ නිහැඬියාව බිඳගෙන ගියා දුක්මුසු ස්වයකින්.ඔල්ගාත් ඉකිබිඳ හැඬුවා හිටි හැටියේම.කෙඳිරිලි හඬින් ඇරඹුනු එය වැලපීමක් උනා අවසානයේදී.ඔහු ඇය දෙස බැළුවේ අනුකම්පාවෙන්.ඒත් ආදරය කියන්නේ අරුත් සුන් විකාරයක් බව ඔහු තේරුම් අරගෙන අවසානයි.


ඒ වනවිටත් ගෝර්කි සිය ඇඳුම් කිහිපය මල්ලකට දමාගෙන අවසානයි.එකම එක වරක් සිය දියණිය හා ඔල්ගා දෙස බැලූ ඔහු මගට බැස්සා ජීවිතයේ  දිගු ගමනක් යන්න හිතාගෙන.
    වීදිය දිගේ මද දුරක් ගිය ඔහු ආපසු හැරී බැළුවා වසර ගණනක් බැඳි ආදරය සිහිපත්ව...ඔකා ගඟේ දිය රැල්ලෙන් මතුවූ පෙම් සිහිනය...ඒත් වන විටත් ගේ තුලට වැදී දොර වසාගෙන අවසානයි...


                            - නිමි -



ප.ලි.

සති කිහිපයක් පුරාවට ඔබ වෙතට ගෙන ආ ලෝක පූජිත ගත්කරු මැක්සිම් ගෝර්කිගේ පෙම් පුරාවත මින් නිමාවන වගයි...ඉන් ගත යුත්තක් තිබිනි නම් එය කුමක්දැයි සිතාගැනීමද ඔබට බාරය...
සිය ප්‍රේමයෙන් පැරදුනු ගෝර්කි ඒ නිසාම සිය ජීවිතයෙන්ද පලා ගියානම්... මැක්සිම් ගෝර්කි නම් වූ සුවිශිෂ්ඨ සාහිත්‍යධරයා අපට දකින්නට ලැබේවිද..?
ඒ මට සිතුනු එකම දෙයයි...

Saturday, February 16, 2013

මිලිනව ගිය පෙම් සිහිනය...2

සු දින ඔල්ගා හා ඇගේ සැමියා පැමිණියා ගෝර්කිගේ ඇරයුම පරිදි.ඔවුන් ඔරු පැද ගියා ඔකා ග‍ඟේ පහලට.ගී ගැයුවා විනෝදයෙන්...උස් හඬින් හිනැහුනා උතුරා යන සතුටින්...
මේ හැම දෙයක්ම අතරින් ගෝර්කි  මොහොතකට ඔල්ගාගේ දෑසේ වෙළුනේ ආදරයෙන්.ඈ විනෝද වූයේ කිරිල්ලියකගේ නිදහසින්.ඒත් ඉඳ හිටකයි ඔවුන් තනිව වදනක් දෙඩුවේ....ඒත් එය මිහිරියි...ඔල්ගාත් තරුණ ගෝර්කිගේ ඇසුරට ප්‍රිය කලා.නිල් දිය පාරේ පහලට පැද යන ඔරුවේදි ඇය සිහිල් දිය පොදක් ඉසුවා විටක ඔහුගේ මුහුනට.නුරාගික ඈ ‍දෑසෙහි වුයේ ඔහු වෙත පෑ පෙම් ආයාචනාවක්.ඔහු කාටත් හොරා ඇගේ සුරත ගත්තේ ඒ දෑසින් පිබිදුනු සිතින්.ජීවිතයට හුරු කටුක දොම්නස පලාගියා ඔහු වෙතින්.ඔහුගේ හද පණ ලැබුවේ ඔල්ගාගේ ආදරයේ මුදු සුවයෙන්.

      ඔකා ගඟේ ඔරු පැදගෝර්කි ඔවුන්ගෙන් සමුගත්තේ ඈ වෙත බැඳුනු සිතින්.ඔහුගේ සිත පුරාම වූයේ ඇයගේ රුව...ඔහු පැතුවේ ඇගේ දෑසෙහි ඇසුර.නමුත් ඔල්ගා යලි හමුවන වරම් ලැබුවේ නැහැ ඔහු.ඇගේ නිවස ලඟින් සෑම සැඳෑවකම පියමං කලත් ඒ වෙත ගොඩනැගෙන්න තරම් සවිමත් වූයේ නැහැ ගෝර්කිගේ දෙපය.ඒ හැම විටම ඔහුගේ හිතේ ඇඳුනේ ඇගේ මහළු සැමියාගේ මුහුණ.

නමුත් එක් සැඳැවක ඔහු තීරණය කලා ඇගේ නිවසට ගොඩ වැදෙන්නට.ඔහුගේ හිත රිදුම් දුන්නා ඇය නොදැක තව මොහොතක්වත් හිඳිනු බැරි තරමින්.ඔල්ගා ඔහුව පිලිගත්තේ උණුසුම් හදවතින්.ඈ තුල වූයේ කෙළිලොල් බවක්.ඕ හුරතලයෙන් තෙපළුවා ඔහුට සමීපව.එය කදිම සැඳෑවක්...
නමුත් මෙම ඇසුරෙහි කෙලවර කුමක් විය හැකිද.? සැමියෙකු වෙත හිමි ඈ වෙත පුදන සෙනෙහසෙහි නිමාව දුක්බර ඔකක් වේවි.ගෝර්කි සිතුවා තනිවම.නමුත් ඔහුගේ සිත ඉඩදුන්නේ නැහැ මොහොතකට හෝ ඇයගෙන් මිදෙන්නට.



    “මං හිතන්නේ මං ඔයාට තදින් ආදරය කරනවා කියලයි.ඔයා මොකද ඒ ගැන කියන්නේ ඔල්ගා.? “

ගෝර්කි ඇගෙන් විමසුවා ඇය හා තනිව හිඳි මොහොතක.ඇගේ දෑස මත බලාපොරොත්තුව පිරිලා.

      
 “මටත් එහෙමයි ගෝර්කි.ඒ උනත් ඒ සතුට අපට නොලැබෙන්නේ ඇයි.? “

ඔල්ගා දෙඩුවේ වේදනාවෙන්.ඇයට සිහිපත් වූයේ ඇගේ මහළු සැමියා.ඔහු වෙත හිමිනොවුනා නම් ඇය අද ගෝර්කිගේ පෙම් ලොව රැජිණ...


   “ඒත් මටඔයාව අමතක කරන්න බැරි තරම්.“

ඔහු මිමිනුවේ හෙමිහිට.ඇය ඔහු දෙස බලා උන්නේ කඳුළු පිරි දෑසින්.තේජවන්ත ඔහුගේ දෑසේ ප්‍රේමය දැල්විලා.එහි මිහිර විඳගන්නට ඔල්ගා ඉකිබිඳ හැඬුවා ආදරයට උපන් කඳුළින්.

  
    “ඔයා ඉවසන්න ගෝර්කි...අපිට එක්වෙන්න කාලයක් ඒවි.“

ඇගේ කටහඬ ස්ථීරයි.ඇයට සිහිපත් වූයේ මහළු සැමියාගේ දුර්වල හදවත.ඔහු වැඩි කලක් ජීවත් වෙන එකක් නැහැ.

      එදින ගෝර්කි ඇගෙන් සමුගත්තේ කටුක හදවතක් සමගින්.ඔහු පාළු මාවත් දිගේ ඔහේ ඇවිද ගියා හිස හැරුණු අතේ.සැමියෙකු හිඳින ඇයට පෙම් කිරීම මුලාවක්.එහෙයින් ඔහු තීරණය කලේ ඇයව අමතක කර දමන්නට.

පසුදින ගෝර්කි සිය මුළු සේසතම ඔලොගුවක දමාගෙන සිය අඳුරු කුටියෙන් මගට බැස්සා.නිශ්නිරොව් නගරය හැර ගිය ඔහු රුසියාවේ ගම් නියම් ගම් පුරා ඇවිද ගියා ඉබාගාතේ.හිස් වූ හිතට වද දුන්නේ ඔල්ගාගේ රුව...ඇසුනේ ඇගේ කටහඬ.නමුත් ඔහු දිගටම නොනැවතී ඇවිද ගියේ කාලයත් සමග ඔල්ගා හිතින් ඈත්වේයැයි සිතාගෙන.

          + + + + + +                               + + + + + +                                + + + + + +

     එහෙත් රුසියාව පුරා තෙවසරක් ඇවිද ගියත් ඔහුගේ සිතේ සුන්දර ඔල්ගාගේ රුව ජීවත් වුනා.එහෙයින් ඔහු යලිත් නිශ්නිරොව් නගරයට පැමිණියේ ඇය පිළිබඳව සිතුවිලි පිරුණු සිතින්.ඒ වෙනකොට ඒ නගරය සම්පූර්ණයෙන්ම පාහේ වෙනස්වෙලා තිබුනා.ඉතාමත් දුක්බරයි අඳුරු වීදියේ තත්වය.නගරය පුරාම පැතිරී තිබුනේ බඩගින්න හා අසරණකම.ඒ හැමදෙයක්ම සමගින් ඔල්ගාත් වෙනස් වෙලා තිබුනා.තම මහළු සැමියාගෙන් දික්කසාද වූ ඇය ජීවත් වූයේ තනියම.එය ඔවුන්ට එක්වීමේ කාලය උදාකර තිබුනා.

ඔල්ගා සමගින් ගෝර්කි පදිංචියට  ගියේ පූජකයෙකු සතු විශාල වත්තකට.ඔවුන්ගේ කුඩා කාමරය අඳුර හා තෙතමනය පිරුණු එකක්.එය අඳුරු ගුහාවකට සමානයි කියලයි ඇය නිතරය මැසිවිලි නැගුවේ.නමුත් එහි විසීම මිස ඔවුනට වෙන කරන්නට දෙයක් තිබුනේ නැහැ.එම නවාතැනෙහි පීඩාකාරී බව වැඩි උනේ ශීත කාලයේදී.
ඒ සමගම ඔවුන් අතරට අළුතින් එක් උන සිඟිති දියණියටද සීතල උහුලන්නට බැරි තරම් උනා.ඔහුගේ සිත නිබඳවම දුක් වූයේ ඔවුන් ගැන සිතමින්.ඔහු ඇතැම් රාත්‍රින් වල ඔවුන් වෙත පැමිණෙන මැසි මදුරුවන් පලවා හරිමින් කාලය ගෙව්වා නොනිදා පහන්ව.

මේ අතරෙදි ගෝර්කිට රැකියාව ලැබුනා නීති ලිපිකරුවෙකු ලෙසින්.ඔහු එම රැකියාව කලේ ඉතාමත් ප්‍රීතියෙන්.ඔහු වඩාත් වෙර දැරුවේ එමගින් සිය පවුලේ ජීවන තත්වය මදක් හෝ යහපත් කරන්නට.සිය ජීවිත වලට දුක කෙතරම් ප්‍රබලව දැනුනත් දියනියගේ සුරතල් මැද ඔවුන් ගෙවූයේ ප්‍රීතිමත් ජීවිතයක්.සඳපානේ ඔවුන් ඇවිදගෙන ගියා පල්ලි වත්ත මැදින් පෙමින් දොඩමළු වෙමින්.ඉඳහිටක ඔවුන් ගියා ඔකා ගඟ අසබඩට...ගෝර්කි මුලින්ම ඔල්ගාව හැඳිනගත්.


  “මං ඔයාට ආදරය කිරීමෙන් වූයේ මහා වැරැද්දක්.“

ඔකාගඟබඩ ගෙවුනු සැඳෑවකදීඇය දෙඩුවා හීන් හඬින්.ඔහුගේ හිත ඉන් හනිකට සසල උනා.

    
  “ඔයා හුඟක් ලාබාල කෙනෙක්.මට වඩා ඔයාට ගැලපෙන්නේ පුංචි කෙල්ලෙක්...“

ඔල්ගා දිගටම කියවාගෙන ගියා.

     
 “ඇයි ඔයා නිතරම ඔයා ගැන විතරක් හිතන්නේ.?  ඒකෙන් හොඳක් නම් සිදුවන්නේ නැහැ.“

ඔහුගේ දෑසෙහි වේදනාව පිරිලා.

එලෙසම ඔවුන් වෙත දිනෙන් දිනම පැමිණියේ අවහිර හා බාධක.මුදල් හිඟය සේම එතරම් හිතකර වූයෙත් නැහැ නිවසෙහි තෙතමනය.ගෝර්කිගේ හිතවත් නීති ලිපිකරුවෙක් ඔවුන්ගේ නිවසෙන් ඉරු දින රෑ කෑම වේල ගන්නට ආවේ මේ අතරෙදියි.එයින් ලද සුළු මුදල පවා ඔවුනට ඉමහත් සහනයක් උනා.





- මතු සම්බන්ධයි - 

මිලිනව ගිය පෙම් සිහිනය...1 

Popular Posts

Total Pageviews

Powered by Blogger.

Followers

සුළඟ වගේ...... හිටියත් නෑ වගේ...නැතත් හිටිය වගේ....

My Blog List