Friday, February 7, 2014

එක පුංචි ආදර කතාවක්...- A little love story...

පේ ජීවිත වල සොඳුරුම කාලය මොකක්ද කියලා ඇහුවොත් මම හිතන්නේ 99% දෙනා දෙන්නේ එකම පිළිතුරක්...ඒ පාසල් කාලය.ජීවිතයේ බරක් පතලක් නැතුව ගියපු ඒ කාලේ වින්ද අත්දැකීම් අපි හැමෝටම අද වෙන කොට සොඳුරු මතකයක් විතරක් වෙලා...
අපි හැමෝම ආදරේ ගැන ඉස්සරවෙලාම අකුරු කලේ පාසලේදී.එහෙම නොවෙන කෙනෙක් හිටියොත් ඒ කලාතුරකින්.හැබැයි සමහර වෙලාවට ආදරේ කියලා අපි අර්ථ දක්වලා තියෙන්නේ ආකර්ෂණයට කියලා තේරුම් යන්නේ පහුවෙලා....

මේකත් ඒ වාගේ එක පුංචි ආදර කතාවක් ගැන සටහනක්...

ඇය ඉස්සෙල්ලම හමුවෙන්නේ පාසලේ 6 වසරෙදි උනත් මිතුදම පටන් ගන්නේ 7 වසරෙදි විතර...ඒත් සිංහල භාෂා හා සාහිත්‍යය තරඟාවලියක් අතර තුරදී.කාලයක් පුරාවට පන්ති දෙකක උන්නු අපි 10 වසරෙදි එකම පන්තියකට වැටෙනවා...ඒ වගේම ඒ මිතුදම තවත් ශක්තිමත් වෙනවා...
ඔහොම කාලය ගෙවෙද්දි  වෙනත් යුවතියක් ගැන කිසිදාක නොකියූ ආදරයක් ඇතිවෙනවා වගේම  O/L ඉවර වෙනවා...ඒ 2007 දී...අප්‍රකාශිතව නිමාව දැකපු පලමු ආදරේ  මතකයන් අතර මාස කිහිපයක් ගෙවෙන කොට ඇයත් ඉඳ හිටක දුරකතන ඇමතුමක් දෙකක් දෙනවා...

මාස දෙක තුනකින් O/L results එනවා...මිතුරන් දෙදෙනෙකු හැරෙන්නට ඇයත්,මමත්,අර යුවතියත් සෙස්සන් එක්ක උසස් පෙළ කරන්න සුදුසුකම් ලබනවා.අර යුවතිය වෙනත් පාසලකට යනවා.ඇය අපේ පාසලේ නවතිනවා.ඒත් ඇය විද්‍යා විෂයන් තෝර ගන්න අතරේ මම වාණිජ විෂයන් තෝරා ගන්නවා...

කතාවක් තියෙනවනේ කෙල්ලෙක් කොල්ලෙක් අතරේ මිත්‍රත්වයක් විතරක් ගොඩනැගෙන්නේ නැහැ කියලා..හැබැයි ඒක අමූලික බොරුවක්...එහෙම මිතුදම් කොච්චරක් තියෙනවද..?ඉතින් ඔහොම ටික දවසක් ගෙවෙද්දි ඇය ගැන හිතේ ආදරයක් ඇතිවෙනවා...මිතුදමක් අතරේ ගොඩනැගෙන ආදරයක් කියාගන්න කොච්චර අසීරුද කියලා දැනුනේ ඊට පස්සේ...වටෙන් ගොඩෙන් ඉඟි පලකරලා දවසකදී මිතුරියක් මාර්ගයෙන් ආදරේ ප්‍රකාශ කලත් ඇය ඒ වෙනකොටත් ඒක දන්නවා...

එදා මිතුරියට සිය අකමැත්ත පල කල ඇය ඊළඟ දිනයේදි මිතුරියන් සමග මුහුණවත් නොබලා පන්තිය ලඟින් යන එනවා...කිසිම දවසකදී කෙල්ලෙක්ගෙන්  දෙපාරක් අහන්නෑ කියලා මතයක උන්නු මමත් ඇය එක්ක කතා බහ නොකර ඉන්නවා.එදා ඉඳන් අපි හිටියේ හරියට කවදාවත් නොදැන උන්නු දෙන්නෙක් විදියට...ඉස්සර එකට කතා බහ කර කර ගියපු පාසල් පාරේ නාඳුනන දෙන්නෙක් විදියට කතා නොකර යනවා.. ඒක මෝඩකමක් කියලා තේරුනේ පස්සේ.අද නම් මතක් වෙනකොටත් හිනා යනවා.

ඔහොම මාස දෙක තුනක් ගෙවිලා ගියා.2008 දෙසැම්බර් නිවාඩුවත් ලැබුනා.නිවාඩු පාඩුවේ ගෙදර උන්නු දවසකදී ස්වර්ණවාහිනියේ “හද රැඳි පැය“ වැඩසටහනේදී පලමු වරට Release උන ගීතයක් අහන්න ලැබෙනවා.ඒ ගීතය තමයි ජිප්සීස් Band එකේ “දුෂාන් ජයතිලක“ කියන “මතකයන් අමතක කෙරුවත්...“ කියන ගීතය...අවසාන වෙනකම් ඒ ගීතය රසවින්ද මට ඒකේ තියන වෙනස් රිද්මය ගොඩක් හිතට සමීප වෙනවා.ඇය ගැන හිතට එබිකම් පාන මතකයත් එක්කම ඒ වෙලාවෙදී ලඟ තිබුනු කොලයක මගේ අතින් මෙහෙම පදවැල් ටිකක් ලියවෙනවා...


මතක මං පෙත මලින් සැරසුන
සොඳුරු වස්සානේ
දුටුව සිහිනේ පුරා සිටියේ
ඔබයි සමනළියේ..
පැතුව පැතුමන් බොඳකරන්නට 
ඇයිද නුඹ සිතුවේ
ආදරේ මහමෙරක් තුරුළු කර
මම තවමත් කඳු‍ළේ...

නැවුම් හැඟුමන් දෝරේ ගලායන
හිරිමල් යෞවනයේ
ආදරේ සුව සිහිනයයි එය
ඔබ තුලින් දුටුවේ...
ඇයිද යන්නේ එකම පාරේ
නාඳුනන විලසේ
එකම මොහොතක් හිනැහී යනවද
ඉස්සර දින වාගේ...

අමතක කෙරුවත් ඔබේ මතකයන්
නැහැ අමතක වෙන්නේ
දිය මතුපිට එන පෙණ බුබුළක් සේ
යලි මතකෙට එන්නේ...
මදහස ඔබමයි...කඳුළත් ඔබමයි
මගේ ජීවිතයේ
තිබෙන තුරාවට නුඹයි ආදරේ
මගේ ජීවිතයේ...


ඔය පදවැල් ටික ඔහොම ලියලා පොතක් අස්සේ දාලා තිබිලා කාලයක් ගතවෙලා උසස් පෙළ කේවල ව්‍යාපෘතියට කරපු නිසදැස් එකතුවටත් එක්වෙනවා...ඔහොම වසරකට ආසන්න කාලයක් ගෙවිලා යද්දී නිවාසාන්තර ක්‍රීඩා උත්සවය ඇරඹෙනවා.ඇයත් මමත් එකම නිවාසයක...ඉතින් නිවාසයේ වැඩකටයුතු අතර දිනයකදී ඇයගේ පංති කාමරයේදී ඇය මා සමග කතාකරනවා...ඕං ඉතින් එදායින් පස්සේ ඒ විරසකයත් අහවර වෙනවා... ක්‍රීඩා උත්සවය අවසන් වෙනකොට කලින් තිබුනු තරමටම ඒ මිතුදම ඇතිවෙනවා...එදා සිට අද දක්වා ඉතින් අපි හොඳ මිතුරන් වෙනවා...

වසර ගණනකින් ඇය දැක නැති උනත් ඉඳ හිටක බුකියේදි ඇය හමුවෙනවා...කාලෙකට පස්සේ ඇය ගැන ආපහු මතකෙට ආවේ ඇය නිසා ලද අද වෙනකම් හමුවූ හොඳම මිතුරිය (ඇයට ආදරය ප්‍රකාශ කරන්නට ගිය ඇගේ යෙහෙලිය පාසල් ජීවිතයේ හමුවූ හොඳම මිතුරිය වෙනවා.) සමග දින දෙක තුනකට පෙර කල කතාබහක් අතර ඇය ගැනත් කතාබහක් ඇතිවුන නිසා...ඒක ආදරයක්ම නොවන ආකර්ෂණයක් කියලා වෙලාවකට හිතුනත් ඇත්තටම ඒ දේ සුන්දර අත්දැකීමක් වගේම සුන්දර මතකයක් ඉතිරි කරපු එක පුංචි ආදර කතාවක් උනා...

ප.ලි.

සති දෙකකින් විතර කිසිම දෙයක් බිලොග් එකට ලියන්න උන්නෑ...සමහර දේවල් කිහිපයක් නිසා ගොඩක් වෙලාවට පීඩනයකින් උන්නු නිසා බ්ලොග් එකක් කියවනවා ඇරෙන්න ලියන්න මෙලෝ දෙයක් හිතට ආවේ නෑ..මග ඇරුණු බ්ලොග් පෝස්ට් කියවන්නත් දැන් පටන් ගන්න ඕනි...

12 comments:

  1. අපි හිතුවොත් කෙල්ලෙක්ටයි කොල්ලෙල්ටයි හොදම යහළුවො වෙන්න පුළුවන්.

    අප්පේ බන් තාමත් අර තීරණේද ඉන්නෙ? අර එක කෙල්ලගෙ දෙපාරක් අහන්නෑ කියලා.

    මගේ වයිෆරේ මම පස්සෙන් යන කාලෙ මට පෙන්නපු ගෑස් වල හැටියට අපිට ජීවිත කාලෙම උයන්න ගෙදරට ගෑස් ඕන්නෑ. :-D

    ReplyDelete
    Replies
    1. බොලා දැන් ගෙදරට ගෑස් ගේන්නෙ නැද්ද

      Delete
    2. දැන්නනම් ඒ තීරණේ නෑ...වයිෆ්ට ඔය comment එක පෙන්නුවොත් කොහොමට හිටීවිද...?
      :)

      Delete
  2. හදහන බලාගත්තොත් නරකද ?
    සිංහල ජ්‍යොතිෂ ලිපි මාලාව.ජ්‍යොතිෂ දෑනුම සමග ජීවිතය සාර්තක කරගෑනීමට ලාංකික ඔබට මගපෙන්වීමක්.
    Read More >> www.obehadahana.blogspot.com

    ReplyDelete
  3. ඔහොම තමයි ජීවිතේ හැටි..ඔය වගේ අත්දැකීම් තියෙන එක ජීවිතේට ගොඩක් වටිනව..

    ReplyDelete
    Replies
    1. අනිවා...වෙලාවකට ඕවා මතක් වෙන කොට තනියම හිනා....

      Delete
  4. මමත් අහපු කෙල්ලන්ගෙන් එකම පාරයි ඇහුවේ.. ආයේ අහන්න ගියේ නෑ.. එක්කෙනෙක් බෑ කිවුවා.. අනිත් කෙනා හා කිවුවා.. බැන්දෙත් එයාවම තමයි..

    ඉස්කෝලේ ආදර කතා ඉතින් ඔහොම තමයි බං..

    ReplyDelete
    Replies
    1. මම ඊලඟට අහපු දැරිවිත් එහෙමයි...ඉස්සෙල්ලා බෑ කියලා ඊලඟට පස්සෙන් එනවා...

      Delete
  5. දෙපාරක් අහන්න... තුන්පාරක් අහන්න එපා !

    ReplyDelete
  6. හැම කෙල්ලම ඔහොම තමයි! බොරැවට ගනං උස්සනවා. ඒත් හිත යටින් කැමතියි...

    ReplyDelete
    Replies
    1. කැමතියි අකමැතියි වගේ තමයි ගොඩක් දැරිවියෝ...

      Delete

Popular Posts

Total Pageviews

Powered by Blogger.

Followers

සුළඟ වගේ...... හිටියත් නෑ වගේ...නැතත් හිටිය වගේ....

My Blog List