Tuesday, June 11, 2013

P.O.L.I.C.E. හා අපි...


        ගොඩක් දවසකින් බ්ලොගයට මුකුත්ම ලියන්නට බැරි විය.IPL හමාර උනත් ඒත් එක්කම Champions කුසලානයද ඇරඹුන නිසා බ්ලොගයටද මේ ටිකේ නිවාඩුය.කවුරු කොහොම කීවද පුරුද්දක් පුරුදු වූ පසු එය අතහැර දැමීම කියන්නා වාගේ ලේසි නැත.
      කතාව ඉතිං ඇතිය.කියන්නට ආවේ එක දෙයක් උනත් කියෙව්වේ තව දෙයක්ය.කියන්නට ආවේ අපි බොහෝ දෙනෙක් හරියට ආදරය කරන කෙනෙක් ගැනය.ඒ "පොලීසිය" පිළිබඳවය.
හදිස්සියෙන්ම මූට පොලීසිය මතක් උනේ පොලීසි ගිහින්දැයි කාට හෝ හිතෙන්නට පුළුවන.එහෙම නැත්තේය.අපි හරිම අහිංසකය.මතක් උනේ ඊයේ රෑ බුකියේදි දුටු රසකතාවක් හා අද උදෑසන දුටු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා අත්අඩංගුවට ගැනීමේ පුවත නිසාය.නැතුව වෙන කෙහෙල්මලක් නොවේය.
 
රස කතා කීම පසුවට තබා පලමුව වාස් ගුණවර්ධන මහතා පිළිබඳව කතා කිරීම හොඳය.පෞද්ගලිකව ගත් කල වර්තමානයේ මගේ ප්‍රියතම පොලිස් නිලධාරියාද එතුමාය.මෑත කාලීනව එතුමා වඩාත් ප්‍රචලිත වූයේ කහවත්තේ මිනීමරුවන් නිතියෙ රැහැනට හසුකරගැනීම නිසාය.කහවත්තේ ජනතාවට නිදහසේ හුස්මක් ගන්නට ඉඩ සලසා දුන්නේ එතුමාය.රොහාන් ඕළුගල මහතාගෙන් පසුව කහවත්තේ ජනතාව විශ්වාසය තැබූ පොලිස් නිලධාරියෙකු සිටියානම් ඒ වාස් ගුණවර්ධන මහතාය.සියළු චෝදනා වලින් වලින් එතුමා නිර්දෝශි වනු ඇතැයි ප්‍රාර්ථනා කරමි.මන්ද එවන් නිලධාරීන් අත්‍යවශය යුගය මේ කාලය නිසාය.

      ඉස්සර පාසල් යන දවස්වල හොඳ කරන්නට ගොස් ට්‍රැෆික් රාලහාමිලාගෙන් බැනුම් ඇසුවා මතකය.රිය නියාමකවරුන් ලෙස කාලයක් පාසලේ සිසුන් යොදාගත්තේය.අපිද මාස කිහිපයක් ඒකට ගියා මතකය.රාළහාමිලා බොහෝ වෙලාවට එන්නේ පාසල ඇරඹෙන වේලාවට පසුවය.එතකොට එතුමන්ලාට කහ ඉරෙන් එතෙර කරන්නට එකෙක් නැතිවාය.අපි ඒ කාරිය කර හමාරය.නමුත් එතුමන්ලාට අපි එක තප්පරයකට ආපහු පාසලට යන්නට ප්‍රමාද උනොත් මල පනිනවාය.මල පැන්නාට නම් කමකුත් කැත.තව බැනලාත් යනවාය.එත‍කොට නම් අපිටත් මල පැන්නා මතකය.ඒ නිසාම රිය නියාමක කාරියද මාස දෙක තුනකට සීමා උනාය.
හවස පාසල ඇරෙන වෙලාවට බොහෝවිට එන්නේ පොලිස් ඇන්ටිලාය.ඒ කට්ටියනම් සැර නැතිය.හිටියද නැතිවා වා‍ගේය.ඒ දවස්වල මාසෙකට සැරයක් දෙකක් හෝ පාසල් සිසුන්ගේ වීදි සටන් නැරඹීමේ අවස්තාව අපට ලැබුනාය.එක දවසක අපේ මිතුරෙකුත් එහෙම වීදි සටනකට පැටළුනේය.සිද්ධිය සමතයකට පත්කරන්නට ආවේ පොලිස් නිලධාරිනියන්ය.ආපු ගමන් උගේ ෂර්ට් එකෙන් අල්ලා ගත්තාය.ඇන්ටිට වඩා ඒකා ඉක්මන්ය.ඇන්ටිගේ අත ගසා දමා කොල්ලා දිව්වාය.

      ඒ කතා ඉවරය.දැන් රසකතා කීමේ හා ඇසීමේ වාරයයි.මෙය බොහෝ දෙනෙක් අසා ඇතිවාට නිසැකය.අසා තිබුනත් යලිත් ලියනවාය.අපහාසයකට නොවන බව සලකන්න.කතාව උපුටා ගන්නා ලදී.

 ඔන්න ඉතිං ලෝකේ හොඳම පොලීසිය තෝරන්න තරඟයක් තිබ්බළු...ඉතින් මේකේ අන්තිම වටයට තේරුනේ ඇමරිකාවයි,ජපානෙයි,චීනෙයි,රුසියාවයි,ලංකාවයිළු.
සංවිධායකයෝ කැලේකට හාවෙක් ගිහින් දානවළු...ඊට පස්සේ ඌව අඩුම වෙලාවකින් අල්ලගෙන එන රටට දිනුම දෙනවළු.
ඔන්න ඉතිං පලවෙනි චාන්ස් එක ලෝකෙට ලොක්කටළු.ඒ කියන්නේ ඇමරිකාවට.උන් ඉතිං ගියාළු දෙන්නම් ගේම කියලා රේඩාර්ද,අරවද මේවද ඔක්කොම උස්සගෙන...හැබැයි දවසෙම දැඟළුවත් අල්ල ගත්ත හාවෙක් නම් නැතිළු.
ඔන්න ඉතිං ඊලඟට ජපානෙයි,චීනෙයි,රුසියාවයි ගිහින් හාවා අල්ලන්න ෆුල් ට්‍රයි කලත් හරි ගියේ නෑළු.ඊලඟ චාන්ස් එක ලංකාවට.අපේ කට්ටිය අරන් ගියේ T56 යි,බැටන් පොල්ලයි,ලණුවකුයි විතරළු.ඒක දැකපු අනිත් උන් පෙරලි පෙරලි හිනාවෙනවළු.ඇයි ඉතිං සුපිරි තාක්ෂණෙත් එක්ක ගිය ඇමරිකාවටත් අල්ලන්න බැරි උන හාවා මේ ටිකෙන් මුන් කොහොම අල්ලන්නද කියලා.
     ඔන්න ඉතිං අපේ කටටිය කැලෑවට ගිහින් පැය දෙක තුනකින් ආවළු.හැබැයි අල්ලගෙන ආව හාවෙකුත් පේන්න නැතිළු.අම්බානකට ගුටි කාපු පෙනුමක් තියෙන දත් හැලිච්ච වලස් මොටෙක් ඉන්නවා.ලණුවලින් බැඳලා.සංවිධායකයන්ට මලළු ඉතිං.ඇයි අල්ලන් එන්න කිව්වේ හාවෙක් උනාට මුන් අල්ලන් ඇවිත් තියෙන්නේ නාකි වලහෙක්නේ.ඉතිං සංවිධායකයෝ ඇහුවළු ‍"කෝ යකෝ හාවා" කියලා.
"ඇයි මේ ඉන්නේ" කියලා අපේ අය වලහව පෙන්නුවළු.
මේ කථාවට මලේ මල් හතම පැනපු සංවිධායකයෙක් ඇහුවළු "උඹලා අපිව මෝඩයෝ කරන්නද හදන්නේ" කියලා.
"පිස්සුද සර්.ඔන්න බලන්න..." කියපු අපේ පොරක් වලස් මොටාගේ පස්සට එකක් පයින් ගහලා පොල්ල උස්සලා ඇහුවළු "කියපන් බලන්න කවුද උඹ..?" කියලා ඇහුවා විතරළු,

වලස් මොටා අත් දෙක එකතු කරලා වැඳලා කියනවළු,
"බුදු සෑර්...මං තමයි හාවා..." කියලා.


     +  +  +  +  +  +                             +  +  +  +  +  +                                       +  +  +  +  +  +

   කතා දැන් අහවරය.මදි පාඩුවට සිංදුවකුත් දෙන්නම්ය.ගායකයා 'ඉරාජ්' ය.කට්ටිය කොහොම ඉරාජ් ට බැන්නද ඉරාජ් වැන්නවුන් සංගීත ක්ෂේත්‍රයට සිටිය යුතුමය.මන්ද යත් සංගීතය යනු ප්‍රේම ගීතම නොවන නිසාය.

                                             ගීතය බලන්න මෙතනින් යන්න.

ප.ලි.
  ගීතයේ කියවෙන ආකාරයේ පොලීසියක් ඇති රටක් ගැන දන්නේ නම් දැනුම් දීමට කාරුණික වන්න...


0 comments:

Post a Comment

Popular Posts

Total Pageviews

Powered by Blogger.

Followers

සුළඟ වගේ...... හිටියත් නෑ වගේ...නැතත් හිටිය වගේ....

My Blog List