
ඔහොම ටික වෙලාවක් ගියේය.වැරදීමකින් remote එක එබී TV එක හිරු එකට මාරු විය.එතකොට ගියේ Ben 10 ය.ඒක දැක්කා විතරය...කොල්ලා මෙහෙම ඇහුවේය....
“අයියේ...පොඩි ලමයින්ට මේක බලන්න හොඳ නැහැ නේද...? “
මට නිකම් මඥ්ඥං වගේ විය.මොකද දන්නා තරමින් Ben 10 කියන්නේ 18+ එකක් කියා කවුරුත් කියා නැත.එ වගේම පොඩි එකා පහුගිය කාලයේ Ben 10 කාටුන් අතනොහැර බැළුවේය.
“අර මොකෝ.? “
“අර සූර වීර බට්ටා එකත් බලන්න හොඳ නැහැල්ලු ලමයින්ට...“
වැඩේ නම් අදහන්නට බැරිය.පොඩි එකෙක් මෙහෙම කියනවා ඇහුවාමය.
“ඈ...කවුද එහෙම කිව්වේ.? “
“ඉස්කෝලෙන්...අයියා දන්නවද ඇයි කියලා.? “
පොඩි එකා යන්නේ මාද කුඩා කල ගිය පාසලටමය.හැබැයි අපිට නම් කවදාවත් කාටූන් බලන්නට එපා කියා නැත.
“ඇයි.? “
“අර සූර වීර බට්ටා එකේ ‘සැන්ඩෝ‘ සර් ඉන්නේ...එයා ප්රින්සිපල් නේ...ඒක නිසා එපා කිව්වේ.“
වැඩේ මීටර් උනේ දැන්ය.බට්ටා සැන්ඩෝ සර්ගේ යටිකූට්ටු වැඩ හෙලි කරමින් සැන්ඩෝ සර්ට අම්බානකට නෙලන්නේය.බලන්නට එපා කියා ඇත්තේ ඒ නිසාය.
විදුහලේ ඉන්නේ අළුතෙන් ආ විදුහල්පතිතුමෙකි.විදුහලට පැමිණීමේදි දෙමව්පියන්ගෙන්ද විරෝධතා එල්ලවූ ඔහුට එකාතකට බලන විට “බට්ටා භීතිකාව“ වැළඳීම අරුමයක් නොවන වග මට නිකමට සිතුනි.
පොඩි උන්ට cartoon බලන්නට එපා යැයි කීවේ පාසලේ වැඩද නොකරමින් cartoon බැලීම වැලක්වීමේ අරමුණින් නම් එය ඉතාමත් හොඳය.එහෙම නැතිව ලමයින් හදන්නට සිතා එසේ කීවා නම් එය අතීසාරයට අමුඩය ගැහුවා වගේ වැඩක්ය....මොකද cartoon වලටත් වඩා ලමා මනසට ගෝචරනොවන බොහෝ දේ උන් TV එකෙන් දකින නිසාය.
අනික් අතට බලන විට අයුක්තියක් හෝ අසාධාරණයක් හමුවේ කොන්ද පණ ඇතිව කතා කිරීමට දරුවන් හුරු කල යුත්තේ කුඩා කල සිට බව මට දැනෙන හැඟීමයි.නැතිනම් වත්මන් සමාජය හැසිරෙන විදිය අනුව උන් ලොකු වූ පසු මේ සමාජයේ ජීවත් වීම වඩා අසීරු වනු ඇත...නොමලවුන් මලවුන් සේ නිදිගත් රටක තමන් වෙනුවෙන් සේම අනෙකා වෙනුවෙන්ද අසාධාරණයකදී නැගි සිටිය යුතු බව උන්ට තේරුම් කල යුතුය...