පහුගිය කාලේ එක දිගටම වැහැපු වැස්සට යන්න කියලා මේ ටිකේ ඉර දෙයියෝ අහසේ රජ කරන්න පටන් අරන්.පහුඋනු කාලේ වැහැපුවටත් හරියන්න එක්කද කොහෙද මේ පෑවිල්ල පුදුමාකාර රස්නයක් දවසෙම තියෙන්නේ.උදේ shop එක ඇතුලට ගියාම දවල්ට උවමනාවකට උනත් town එකට බහින්නේ මරන්න වගේ කම්මැලිකමේ රස්නේ වැඩි නිසා.ඒ රස්නේ අපිට විතරක් නෙමෙයි,සත්තුන්ටත් පුදුම විදියට දැනෙනවා.දවල් කාලෙට පාර අයිනේ තියන ලඳු කැලෑවල උන් වැඩිපුර දකින්න හම්බෙන්නෙත් උන් රස්නෙන් බේරෙන්න ඒවා ඇතුලට වෙලා ගිමන් හරින නිසා වෙන්නැති.
කැලෑ වැදිලා ඉන්න සත්තු ගැනයි,රස්නෙයි ගැනය ලියන්න හිතුනේ අද හවස ගෙදර එන කොට දකින්න ලැබුනු දෙයක් හින්දා.මාදම්පෙට ටිකක් මෙහායින් පාර අයිනේ තියන මානං යායකට කවුදෝ ගින්දර තියලා.තියන පෑවිල්ලේ සැරත් එක්ක වේළුනු කොල ගිනි ගන්න ගානට අමු මානං පඳුරු ගිනි ගන්නවා.ඕක දැක්ක ගමන් අපේ පුංචිට කියඋනේ,
“සත්තු කොච්චරක්නම් ඔතන පිච්චෙනවා ඇත්ද?“ කියලා.
බලාගෙන යන කොට කතාවත් ඇත්ත කියලා හිතුනා.මොකද ගමේ ගොඩේ දැකලා තියෙන විදියට මානං වගේ පඳුරු වල කුරුල්ලන් බොහොමයක් කැදලි තනනවා.බිත්තර දමනවා.සර්ප විශේෂ ආදියත් ඔය වගේ තැන්වල ගැවසෙනවා වැඩියිනේ.
එතනට ගින්දර දාපු මනුස්සයා ගිනි තියන්න ඇත්තේ කැලේ තියන ටික එලිකරගන්න චේතනාවෙන් වෙන්නැති.ඒත් චුට්ටක් හරි හිතලා අඩුම තරමින් පඳුරු ටික කපලා හරි දාලා ගිනි තිබ්බනම් සත්තු කී දෙනෙක්ගෙනම් ජීවිත බේරගන්න තිබුනද...?
ඔය සිද්ධිය දැක්කම මට මතක් උනේ ලඟදි කියවපු පොතක තිබුනු අතීතයේ හිටපු මිනිස්සු හේන් ගිනිතිබ්බ හැටි ගැන.ඒ කාලේ කැලේ කොච්චර තිබුනත් මිනිස්සු හිතු මනාපෙට කැලේ කෙටුවේ නැහැල්ලු.වැඩිම උනොත් එක පාරකට අක්කරයක් විතර වගේළු හේන් කොටන්නේ.
හේන වල්කොටලා එහෙම ඉවර උනාම තියෙන්නේ ගිනි තියන්නනේ.ඒක කරන්නෙත් හරිම අපූරු විදියකටළු...වල්කොටලා ඉවර උනාම වේලෙන්න තියලා හිටන්,ගිනි තියන්න සුමානෙකට තියා අයිතිකාරයා හැමදාම යනවළු හේනට...එහෙම ගිහිනුත් නිකා ඉන්නේ නැහැල්ලු...හේන වටේටම ඇවිදිනවළු.ඒ ඇවිදින ගමන් මෙහෙම කියනවළු...
“සතා සීපාවුනේ...උඹලා හේන ඇතුලේ ඉන්නවනම් කැලයට පලයල්ලා.අහවල් දවසේ,අහවල් වේලාවට මේ හේන ගිනිතියනවා...“ කියලා.
ඊට පස්සේ තමයිළු හේනට ගිනි තියනවා කියන්නේ.මේ එහෙම සත්තුන්ට කියන කවියක්.උපුටා ගත්තතේ
“ජයසේන ජයකොඩි“ ශූරින්ගේ
“රයිගම් පුත්තු“ නවකතාවෙන්...
ඕං නොකිව්වයි කියන්නෙපෝ
හාවුනේ හාවුනේ පලයල්ලා...
හේන් කොටේ හෙට හැන්දෑ ජාමේ
ගිනිලනවා මං ගිනිලනවා...
තලගොයිනේ පලයල්ලා
පුරුක් හැළුනු නයිහාමි
නිකමට වැඩියාදෝ...
අනේ හනික ගල් ලන්දට
අද හවසම යා ගන්නේ...
උඹලත් උඹලත් කූඹියනේ
කඩියොත් දිමියොත් ජෝඩු කරාගෙන
රුක් අත්තන යායට පලයල්ලා...
පොලොං තෙලිස්සෝ කූඩැල්ලෝ
හේන් හොරාකන වඳුරු නාම්බෝ...
උඹලා මට නුහුරට හිටියත්
උඹලත් උඹලත් පලයල්ලා...
ඒ කාලේ නම් ඕං ඔහොමළු.දැන් කාලේ නම් ඕක දකින මනුස්සයට හිනා යයි.ඒ වගේම අද කාලේ මේ වගේ ගති සිරිත් ඉතුරුවෙලා ඇතියි කියලා මම නම් හිතන්නේ නෑ.හැබැයි අද කාලේ මිනිස්සුන්ට සාපේක්ෂව උගත් කමෙන් අඩු උනත් ඒ මිනිස්සු ගතිගුණ අතින් නම් අපිට වඩා ගොඩක් පොහොසත් කියලා හිතෙනවා.
මොකද කියනවනම් කැලයේ ඉන්න සතෙක් ගැන තියා තමන්ගේම වර්ගයේ මිනිස්සුත් බල්ලො බලල්ලු ගානට මහපාරේ මරා දමන සමාජයක් තියන වර්තමානේ මිනිස්සුන්ට වඩා,තමන්ට වගේම කැලයේ ඉන්න සතා සීපාවටත් මහපොලව මත ජීවත් වෙන්න අයිතියක් තියන බව එදා කාලේ මිනිස්සු හිතලා තියෙනවා...
ඒක සහතික ඇත්ත...
අපිට වගේම මේ මහපොලවේ ජීවත්වෙන්න ලොකු කුඩා හැම සතෙකුටම අයිතියක් තියෙනවා.ඒ අයිතිය උදුරගන්න අපි කාටවත් අයිතියක් නැහැ...අර මනුස්සයා ගිනි තියලා තිබ්බේ පොඩි පඳුරු යායක්.ඒත් අදටත් අක්කර දහස් ගණන් මිනිස්සු ඉවක් බවක් නැතිව කපනවා...ගිනි තියනවා..හැබැයි ඒවා නිජබිම් කරගත්තු සත්තුන්ට වෙනදේ ගැන කවුරුත් හිතනවද.?
මම කියන්නේ ඉස්සර කාලේ වගේ සත්තුන්ට කතා කර යන්න කියන එක නෙමෙයි...පුළුවන් තරම් අපි වගේම හැම සතෙක්ම මේ ලෝකේ ජීවත්නෙන්න ඕනි කියන එක හිතේ තියාගෙන කටයුතු කරමු කියලා.මොකද මේ මිහිතලය අපිට වගේම හැම සතෙකුටම අයිතියි...ඒකයි අපි හැමෝම යටත් වෙන සොබාදහමේ නීතිය...