Tuesday, May 27, 2014

මිහිතලය උරුම මිනිසාට පමණක්ද.? - World is not only for human...

හුගිය කාලේ එක දිගටම වැහැපු වැස්සට යන්න කියලා මේ ටිකේ ඉර දෙයියෝ අහසේ රජ කරන්න පටන් අරන්.පහුඋනු කාලේ වැහැපුවටත් හරියන්න එක්කද කොහෙද මේ පෑවිල්ල පුදුමාකාර රස්නයක් දවසෙම තියෙන්නේ.උදේ shop එක ඇතුලට ගියාම දවල්ට උවමනාවකට උනත් town එකට බහින්නේ මරන්න වගේ කම්මැලිකමේ රස්නේ වැඩි නිසා.ඒ රස්නේ අපිට විතරක් නෙමෙයි,සත්තුන්ටත් පුදුම විදියට දැනෙනවා.දවල් කාලෙට පාර අයිනේ තියන ලඳු කැලෑවල උන් වැඩිපුර දකින්න හම්බෙන්නෙත් උන් රස්නෙන් බේරෙන්න ඒවා ඇතුලට වෙලා ගිමන් හරින නිසා වෙන්නැති.

කැලෑ වැදිලා ඉන්න සත්තු ගැනයි,රස්නෙයි ගැනය ලියන්න හිතුනේ අද හවස ගෙදර එන කොට දකින්න ලැබුනු දෙයක් හින්දා.මාදම්පෙට ටිකක් මෙහායින් පාර අයිනේ තියන මානං යායකට කවුදෝ ගින්දර තියලා.තියන පෑවිල්ලේ සැරත් එක්ක වේළුනු කොල ගිනි ගන්න ගානට අමු මානං පඳුරු ගිනි ගන්නවා.ඕක දැක්ක ගමන් අපේ පුංචිට කියඋනේ,

“සත්තු කොච්චරක්නම් ඔතන පිච්චෙනවා ඇත්ද?“ කියලා.

බලාගෙන යන කොට කතාවත් ඇත්ත කියලා හිතුනා.මොකද ගමේ ගොඩේ දැකලා තියෙන විදියට මානං වගේ පඳුරු වල කුරුල්ලන් බොහොමයක් කැදලි තනනවා.බිත්තර දමනවා.සර්ප විශේෂ ආදියත් ඔය වගේ තැන්වල ගැවසෙනවා වැඩියිනේ.

එතනට ගින්දර දාපු මනුස්සයා ගිනි තියන්න ඇත්තේ කැලේ තියන ටික එලිකරගන්න චේතනාවෙන් වෙන්නැති.ඒත් චුට්ටක් හරි හිතලා අඩුම තරමින් පඳුරු ටික කපලා හරි දාලා ගිනි තිබ්බනම් සත්තු කී දෙනෙක්ගෙනම් ජීවිත බේරගන්න තිබුනද...?

ඔය සිද්ධිය දැක්කම මට මතක් උනේ ලඟදි කියවපු පොතක තිබුනු අතීතයේ හිටපු මිනිස්සු හේන් ගිනිතිබ්බ හැටි ගැන.ඒ කාලේ කැලේ කොච්චර තිබුනත් මිනිස්සු හිතු මනාපෙට කැලේ කෙටුවේ නැහැල්ලු.වැඩිම උනොත් එක පාරකට අක්කරයක් විතර වගේළු හේන් කොටන්නේ.
හේන වල්කොටලා එහෙම ඉවර උනාම තියෙන්නේ ගිනි තියන්නනේ.ඒක කරන්නෙත් හරිම අපූරු විදියකටළු...වල්කොටලා ඉවර උනාම වේලෙන්න තියලා හිටන්,ගිනි තියන්න සුමානෙකට තියා අයිතිකාරයා හැමදාම යනවළු හේනට...එහෙම ගිහිනුත් නිකා ඉන්නේ නැහැල්ලු...හේන වටේටම ඇවිදිනවළු.ඒ ඇවිදින ගමන් මෙහෙම කියනවළු...

“සතා සීපාවුනේ...උඹලා හේන ඇතුලේ ඉන්නවනම් කැලයට පලයල්ලා.අහවල් දවසේ,අහවල් වේලාවට මේ හේන ගිනිතියනවා...“ කියලා.



ඊට පස්සේ තමයිළු හේනට ගිනි තියනවා කියන්නේ.මේ එහෙම සත්තුන්ට කියන කවියක්.උපුටා ගත්තතේ “ජයසේන ජයකොඩි“ ශූරින්ගේ “රයිගම් පුත්තු“ නවකතාවෙන්...

ඕං නොකිව්වයි කියන්නෙපෝ
හාවුනේ හාවුනේ පලයල්ලා...
හේන් කොටේ හෙට හැන්දෑ ජාමේ
ගිනිලනවා මං ගිනිලනවා...
තලගොයිනේ පලයල්ලා
පුරුක් හැළුනු නයිහාමි
නිකමට වැඩියාදෝ...
අනේ හනික ගල් ලන්දට 
අද හවසම යා ගන්නේ...
උඹලත් උඹලත් කූඹියනේ
කඩියොත් දිමියොත් ජෝඩු කරාගෙන
රුක් අත්තන යායට පලයල්ලා...
පොලොං තෙලිස්සෝ කූඩැල්ලෝ
හේන් හොරාකන වඳුරු නාම්බෝ...
උඹලා මට නුහුරට හිටියත්
උඹලත් උඹලත් පලයල්ලා...




ඒ කාලේ නම් ඕං ඔහොමළු.දැන් කාලේ නම් ඕක දකින මනුස්සයට හිනා යයි.ඒ වගේම අද කාලේ මේ වගේ ගති සිරිත් ඉතුරුවෙලා ඇතියි කියලා මම නම් හිතන්නේ නෑ.හැබැයි අද කාලේ මිනිස්සුන්ට සාපේක්ෂව උගත් කමෙන් අඩු උනත් ඒ මිනිස්සු ගතිගුණ අතින් නම් අපිට වඩා ගොඩක් පොහොසත් කියලා හිතෙනවා.
මොකද කියනවනම් කැලයේ ඉන්න සතෙක් ගැන තියා තමන්ගේම වර්ගයේ මිනිස්සුත් බල්ලො බලල්ලු ගානට මහපාරේ මරා දමන සමාජයක් තියන වර්තමානේ මිනිස්සුන්ට වඩා,තමන්ට වගේම කැලයේ ඉන්න සතා සීපාවටත් මහපොලව මත ජීවත් වෙන්න අයිතියක් තියන බව එදා කාලේ මිනිස්සු හිතලා තියෙනවා...

ඒක සහතික ඇත්ත...

අපිට වගේම මේ මහපොලවේ ජීවත්වෙන්න ලොකු කුඩා හැම සතෙකුටම අයිතියක් තියෙනවා.ඒ අයිතිය උදුරගන්න අපි කාටවත් අයිතියක් නැහැ...අර මනුස්සයා ගිනි තියලා තිබ්බේ පොඩි පඳුරු යායක්.ඒත් අදටත් අක්කර දහස් ගණන් මිනිස්සු ඉවක් බවක් නැතිව කපනවා...ගිනි තියනවා..හැබැයි ඒවා නිජබිම් කරගත්තු සත්තුන්ට වෙනදේ ගැන කවුරුත් හිතනවද.?


මම කියන්නේ ඉස්සර කාලේ වගේ සත්තුන්ට කතා කර යන්න කියන එක නෙමෙයි...පුළුවන් තරම් අපි වගේම හැම සතෙක්ම මේ ලෝකේ ජීවත්නෙන්න ඕනි කියන එක හිතේ තියාගෙන කටයුතු කරමු කියලා.මොකද මේ මිහිතලය අපිට වගේම හැම සතෙකුටම අයිතියි...ඒකයි අපි හැමෝම යටත් වෙන සොබාදහමේ නීතිය...



Friday, May 23, 2014

සුද්දාගෙන් යහගුණ ඉගෙනීම... - Learn from forigner...

ද බ්ලොග් එකට‍ ගොඩවෙද්දි ඉස්සෙල්ලම දැක්කේ අන්තිමට ලියන්න අරන් නම විතරක් type කරලා තිබ්බ දැන් කියන්න යන story එක...ඉතිං අළුතෙන් ලියනවට වඩා ඒකේ ඉතුරු ටික සම්පූර්ණ කරන එක හොඳයි කියලා හිතුනා....

මීට මාස දෙකකට විතර කලින් දවසක පුරුදු විදියට ඔන්න වැඩ ඇරිලා ගෙදර එන්න කියලා මාදම්පෙට ආවා.ඔය time එකට මාදම්පෙට හැමදාම එකතු වෙන අපි කිහිප දෙනෙක්ම ඉන්නවා බස් එක එනකම්.එදා අපි ඉන්න වෙලාවට අපි එන බස් එකේ අයිතිකාරයා උන කුමාර අයියත් ආවා එතනට බස් එකට යන්න...

බස් එක එන්නත් ටිකක් වෙලා තියන එකේ රටකජු ගේමු කියලා අපිත් එක්ක උන්නු අක්කා කෙනෙක් යෝජනාවක් දැම්මා...කට්ටියම ඉතිං වැඩේට කැමති එකේ මාත් ගිහින් ඉස්සරහ තිබ්බ කඩෙන් රට කජු පැකට් ටිකක් ගෙනාවා...ටික වෙලාවක් යද්දි කට්ටිය හිටපු තැන්වල රටකජු පොතුත් එකතු වෙලා තිබුනා බිම...



“දැන් ඉතිං ගෙනාව කෙනාටම තමා එකතු කරන්න වෙන්නේ...“

ටික වෙලාවක් ගිහින් අපිත් එක්ක හිටපු අයියා කෙනෙක් කිව්වා.

“ඉතිං මමයැ ඕවත් කෑවේ...“ 

මාත් විහිළුවෙන්ම කිව්වා.

“මටත් ඔහොම දවසක් මාර වැඩක් උනානේ...“

ඒ කුමාර අයියා...

“දවසක් මම යාළුවෙක් එක්ක Bus එකට කෑලි වගයක් ගන්න කොළඹ ගියා බස් එකේ...තේ බොන්න Bus එක නැවත්තුවම අපි ගිහිල්ලා එද්දි මං ටොෆි වගයක් අරගත්තා.අරුයි මායි ටොෆි 2ක් කාලා කොල දෙක බිමට දාලා එන්න හදද්දි මං දැක්කා පිටිපස්සේ ඉඳන් සුද්දෙක් අපි දිහා බලාගෙන ඉන්නවා...දන්නවද ඊලඟට මේකා මොකද කලේ කියලා...?
අපි ලඟට ඇවිත් මූණ දිහා බලලා හොඳට හිනාවෙලා මේකා අර බිම දාපු ටොෆි කොල 2 අරන් ලඟ තිබුනු කුණුබක්කියකට දාලා ගියා...අපිට පොලව පලාගෙන යන්න හිතුනා මල්ලි...“

කට්ටියම කතාව අහගෙන ඉද්දි Bus එකත් ආවා...එකා දෙන්නා බස් එකට නගිද්දි මම අතේ ඉතුරු වෙලා තිබ්බ රටකජු පොතු ටික එහෙම්මම බෑග් එකේ කවරෙකට ඔබාගෙන bus එකට නැග්ගා...




හැබැයි අදටත් ඔය වගේ ජාති කද්දි මේ කතාව නිතරම මතක් වෙනවා...අපි නොහිතනවා උනත් අපි අතින් නොවෙන්න ඕනි වැරදි කොච්චරනම් වෙනවා ඇද්ද...?එදායින් පස්සේ තැන නොතැන නොබලා ඔය අනම් මනම් බිම දාන එක නතර කලා...

අනිත් කාරණේ තමයි අපේ සිංහල මනුස්සයෙක් අර සුද්දා කරපු වැඩේ කවදාවත් කරයිද කියන එක...ටොෆි කොලේ දාපු එකාට බැන බැන ඉන්නවා මිසක් වෙන දෙයක් කරන්නෑනේ.ඒ අතින් අර සුදු ජාතිකයා නිහඬවම හිත් නොරිදෙන ආකාරයට කියා දුන්නු පාඩම හරිම ශ්‍රේෂ්ඨයි...

Sunday, May 18, 2014

ආයෙමත් ආදරෙන්...01 - ආදරය නම් කිමැයි...? (What is the love...)

කාලෙකට පස්සේ ආපහු බ්ලොග් එක ලියන්න ඕනි කියලා හිතුනා...අද ලියන්න යන්නේ ආදරය ගැන..ඒ කියන්නේ ආදරය ගැන මට හිතෙන හැටි හා දැනෙන හැටි ගැන.ආදරය ගැන post එකක් ලියන්න ඕනි කියලා කාලෙකට කලින් හිතුනේ FB එකේදි දැකපු සමහර සිදුවීම් හා එදිනෙදා ජීවිතයේදි දකින්නට හා අසන්නට ලැබුණු සිදුවීම් කිහිපයක් හින්දා.ඒත් හැමදාමත් වගේ වැඩේ අද වෙනකම් පහු උනා...ආදරයෙත් පැතිකඩ බොහොමයක් තියෙනවනේ.ඉතිං මේ කතාකරන්නේ ආදරයේ එක් පැතිකඩක් උනු පෙම්වතුන් හා පෙම්වතියන් අතර තියන ආදරය පිළිබඳව...

ඇත්තටම මොකක්ද මේ ආදරය කියන්නේ..?

ආදරය ගැන බොහෝ දෙනා බොහෝ නිර්වචන දිලා තියෙනවා.විශේෂයෙන් නිර්මාණකරුවන් විසින්ඒ බොහොමයක් නිර්වචන සමාන වෙනවා වගේම සමහරක් එකිනෙකට වෙනස් නිර්වචනත් තියෙනවා...

“ආදරය සේ සුවදෙනා - අන් ලොවේ නැත රසඳුනා“

කියලා එදිරිවීර සරත්චන්ද්‍රයන් ආදරය ගැන අපූරු නිර්වචනයක් දෙද්දී තවත් ගීත රචකයෙක් හරි අපූරු විදියට මෙහෙම ලියලා තිබුනා...

“ඉවුරු දෑලේ හිඳ බැළු විට 
 ගඟ හැඩයි කදිමයි...
 දියට වන් විට එවන් ගඟුලම
 බිහිසුණුයි චණ්ඩයි... “

හැබැයි නන්දා මාලිනි මහත්මිය ගජමන් නෝනා ටෙලි නාට්‍යට ගයපු තේමා ගීතයේ මෙහෙම කියනවා...

“ජීවිතේ කවියක්
 ආදරය එහි
 සොඳුරුතම වදනක්...“

ඒ අතරෙදි චන්දන ලියනාරච්චි ගායනා කරපු ගීතයක මෙහෙමත් කියලා තියෙනවා...

“ප්‍රේමය ලොව හැමතැනම ඇති
 හැමදෙනටම හමුවෙලා ඇති...
 එනමුදු ප්‍රේමය කිමැයි කියා
 හඳුනාගත් කිසි කෙනෙකු නැති... “

මගේ පැත්තෙන් ගත්තොත් මම වැඩිපුරම කැමති ඔය අන්තිමට තියන පද ටිකට.මොකද අපි ආදරය කියන්නේ මොකක්ද කියලා දහදෙනෙක්ගෙන් ඇහුවොත් ලැබෙන්නේ උත්තර දහයක්..සමහරුන්ට ආදරය කියන්නේ මොකක්ද කියලා ඇහුවම දෙන්න උත්තරයක් නැහැ...ඉතිං එහෙම එකේ ආදරය ගැන හරියටම නිර්වචනයක් දෙන්න පුළුවන් කියලා මට නම් හිතෙන්නෑ.පාසල් යන කාලේ බැඳුනු ප්‍රේමයත් එක්ක ඒ දවස්වල හිතන් උන්නේ ආදරය කියන්නේ ඒකට කියලා...ඒත් අද වෙනකොට තමා හිතෙන්නේ එතන තියෙන්න ඇත්තේ ආදරය නෙමෙයි ආකර්ෂණය විතරයි කියලා...හැබැයි පසුකාලීනව ඒ තත්වේ වෙනස් උනා කියලත් වෙලාවකට හිතෙනවා...


ඔය අතරේ එදිනෙදා සමාජයේ ඉන්න ගොඩක් අයත් ආදරය සම්බන්ධ එක එක ප්‍රකාශ කරලා තියෙනවනේ.අපි O/L කරන කාලේ කෙල්ලෙක්ගේ  හරි කොල්ලෙක්ගේ හරි Autograph එකක් අරන් බැළුවොත් ඒ වගේ වැකි ඔනතරම් හොයාගන්න පුළුවන් කම තිබුනා.අද වෙනකොටත් ඒ තත්වේ වැඩි වෙනසක් වෙලා නෑ නියලා හිතනවා...දැන් නම් fb එකට ගොඩවැදිලා ටිකක් වෙලා හිටියොත් ඒ වගේ ඒවා ඔනිතරම් හොයාගතහැකි...

“සැබෑ ආදරයක් කෙලවර වන්නේ එක්වීමකින් නොවෙයිනම් මරණයෙනි...“
“ආදරය යනු ලොව උතුම්ම වස්තුවයි...“

කියලා මේ වගේ අපබ්‍රංස ඔනිතරම් කියලා තියෙනවා...හැබැයි වැඩේ තියෙන්නේ ඔය වගේ දෙවල් කියන හා දාන උදවියත් ඇත්තටම ඕවා ඒ ආකාරයෙන්ම කරනවද කියන එක... :D

කොහොම උනත් විකිපීඩියාවේ ආදරය ගැන දීලා තියෙන්නේ මෙහෙම නිර්වචනයක්...

“ආදරය යනු බැඳිම සහ ලිංගික ආකර්ශනයට සම්බන්ධ හැඟීම් සහ අත්දැකීම් සමුදායක මිශ්‍රණයකි...“


ඔය කියල තියෙන කතන්දරේ ඇත්තද කියලා ඉතිං දන්නෝ දනිති.මේ ආදරේ ගැන මට මේ දවස්වල හිතිලා තියෙන හැටි...

“ආදරය යනු නෙල්ලි ගෙඩියක් වැනිය...“ :D

ආදරය නෙල්ලි ගෙඩියකට සමාන වෙන්නේ කොහොමද කියලා සමහරු දැන් අහයි...කවදමහරි දවසක නිවීසැනසිල්ලේ නෙල්ලි ගෙඩියක් කාලා තියෙන කෙනෙකුට තේරිලා ඇති නෙල්ලි ගෙඩියක් ඇතුලේ එකිනෙකට වෙනස් රසයන් ගනනාවක් තියෙනවා කියලා...ආදරයත් ඒ වගේ...ආදරය කියන හැඟීමත් එක්ක බැඳුනු විරහව,රාගය,ඉරිසියාව...වගේ නොයෙකුත් දේ තියෙනවා.ඉතිං මම ආදරය නෙල්ලි ගෙඩියකට උපමා කිරීමේ වැරැද්දක් දකින්නේ නැහැ...මේ හිතෙන විදිය පස්සේ කාලෙක කොහොම වෙයිද කියලා දන්නේ නෑ...මේ අද මේ මොහොත වෙනකම් මට ආදරය ගැන මේ දවස්වල හිතිලා තියන හැටි... :D

 කොහොම උනත් අන්තිමට කියන්න තියෙන්නේ මෙන්න මෙහෙම තමයි...

 “එනමුදු ප්‍රේමය කිමැයි කියා
 හඳුනාගත් කිසි කෙනෙකු නැති...“

ඉතිං ඔන්න ආදරය කියන්නෙ මොකක්ද කියලා ලියපු post එක මෙහෙම ඉවර වෙනවා.ඒත් ආදරයත් එක්ක බැඳුනු තවත් හැඟීම සමුදායක් තියෙනවා කියලා කලින් කිව්වනේ...ඉතිං ඉදිරි දවස්වලදි ආදරයට ආදරය කරමින් අපි ඒ ගැන වගේම ආදරය ගැනත් තව කතා කරමු...!

ප.ලි.

කාලෙකට කලින් ලියන්න හිතන් උන්නු මාතෘකාවක්...අද උදේ හිතුන සිතුවිලි ටිකක් එක්ක ආපහු ලියන්න හිතුනා.ලියන්න පටන් ගන්න කොට හිතන් උන්නේ එක post එකකින් ඉවර කරන්න පුළුවන් වෙයි කියලා.ඒත් ඒ ඔක්කොම ලියන්න තව post කිහිපයක්ම ලියන්න වෙයි වගේ...

Popular Posts

Total Pageviews

Powered by Blogger.

Followers

සුළඟ වගේ...... හිටියත් නෑ වගේ...නැතත් හිටිය වගේ....

My Blog List