Tuesday, November 26, 2013

අතීත සිදුවීම් යලි යලිත් සිදුනොවීමට නම්... - ලාංකීය ජනතාව හා බෝවත්තේ ඉන්දරතන හිමි සිද්ධිය...

තැමුන් ජීවිත පූජාවක් ලෙස දුටු,තවත් ඇතැමුන් සියදිවි නසාගැනීමක් ලෙස අර්ථකතනය කල බෝවත්තේ ඉන්දරතන හිමියන් ගව ඝාතනයට එරෙහිව ගිණි තබාගනිමින් මියයාමේ සිද්ධිය සිදුවී 6 මසක් ගෙවීගොස් අවසානය.සිද්ධිය සිදුවූ දින රැයේ හිරු ප්‍රවෘත්ති වලට අදහස් දැක්වූ හිමිනමක් මෙසේ කීවේය.

“හාමුදුරුවන්ගේ ජීවිතේට අනතුරක් උනොත් මීට වැඩිය දරුණු ක්‍රියාමාර්ග අපි ගන්නවා.“


අවසානයේ බෝවත්තේ ඉන්දරතන හිමියන් අපවත් විය.දැඩි ආරක්ෂාවක් මැද එතුමන්ගේ ආදාහන කටයුතුද සිදුවිය.ඒ දිනවල බොදුබල සේනාව,රාවණා බලය වැනි සංවිධාන එම සිදුවීම පිළිබඳව දුක හිතෙන හා ආවේගාත්මක කතාද බොහොමයක් කීවේය.බුකියේ පෙලහර පානා බොහෝ දේශප්‍රේමීන්ද Profile picture එකට කහ කොඩි හා බෞද්ධ කොඩි දමාගෙන සිටියේය.එසේ නැති ඇත්තන්ටද එසේ කරන්නට කියමින් පණිවිඩ යැව්වේය.උන්වහන්සේගේ රුව ඇතුලත් ඡායාරූප දහස් ගණනින් Share කෙරුණි.

ඉන්දරතන හිමියන් ගව ඝාතනයට එරෙහිව ගිණි තබාගනිමින් මියයාමේ සිද්ධිය සිදුවී 6 මසක් ගෙවීගොස් අවසානය.නමුත් උන්වහන්සේ එම ජීවිත පූජාවෙන් බලාපොරොත්තු වූ දේවලින් දශමයක් හෝ ඉටුවී ඇත්ද යන්න ප්‍රශ්නාර්ථයකි.ධර්මද්වීපය කියා කියන ශ්‍රී ලංකාව තුල මේ සටහන තබන හා ඔබ මෙය කියවන මොහොතේත් කොහේ හෝ තැනක ගවයෙක් ඝාතනය කරනවාට,මසට විකුණා දමනවාට,බත් පතේ හරක් මස් දමාගෙන තළු මරමින් රස බලනවාට නිසැකය.පසුගිය කාලයේ එක්තරා ජනප්‍රිය සංවිධානයකින් ලංකාවේ ගව ඝාතනය වැලක්වීම සඳහා පිටරටින් හරක් මස් ආනයනය කරන්නට යෝජනා කල බවක් බුකියේ සැරිසරද්දි නෙතගැටුනි.උන්වහන්සේලා එසේ කියන්නට ඇත්තේ පිටරටවල හරක් ඇපල් මෙන් ගස්වල හැදෙනවා කියා සිතා වියයුතුය.

තමන් සත්‍යය හා යුක්තිය යැයි විශ්වාස කල කරුණක් සාක්ෂාත් කරගැනීම උදෙසා සිය ජීවිතය පූජා කිරිමට තරම් ඉන්දරතන හිමියන් සතුවූ ආත්ම ශක්තිය ගරුකල යුතු හා හිසනමා ආචාර කලයුතු කරුණක් බවට විවාදයක් නැත.නමුදු ගැටළුවක් තිබේ...
      ඉන්දරතන හිමියන්ගේ ජීවිත පූජාව හා එයට පසුබිම් වූ කරුණු අද වන විට ලාංකිකයන් කීදෙනෙකුට මතකයේ ඇද්ද.?තව ටික දිනක් ගතවී යනවී ඔවුන්ගෙන් කී දෙනෙකුට  නම් එය මතකයේ රැඳෙවිද.?

“සිංහලයාට ඕනෑම දෙයක් මතක දින 14ක් පමණකි.“ කියා ප්‍රබාකරන් පැවසු කතාවක් අදද අපට නිරන්තරයෙන් අසන්නට ලැබේ.කොටියා උනත් ප්‍රභාකරන්ගේ ඒ කතාවට ඩොලර් නොව පවුම් දැමිය යුතුය...

වසර 30ක ශාපලත් යුද්ධයෙන් 2009 තෙක් ලාංකිකයන් බැට කෑවේය.තුස්තවාදීන්ට භීෂණය මුදාහරිනවිට එයට ගොදුරු වන්නේ සිංහලයාද,ද්‍රවිඩයාද,මුසල්මානුවාද කියා ප්‍රශ්නයක් තිබුනේ නැත.නමුදු අද වන විට බොහෝ දෙනෙක් හැසිරෙන්නේ එවැන්න් නොතිබුනු ගාණටය.TNA සංවිධානය තවමත් ඒකීය රාජ්‍යය සංකල්පයක් ගැන කතා කරද්දි,මහ විරු දින සමරන්නට සැරසෙද්දි සමහරක් නමට සිංහලයන් ලැජ්ජා විරහිතව ඔවුන් උදෙසා කඩේ යන්නේ ඒ මතකය අමතක කර දමාය.

ජනතාව මත බලෙන් පටවන්නට හැදූ පෞද්ගලික අංශයේ විශ්‍රාම වැටුප ප්‍රතික්ෂේප කරමින් සිදුකරන ලද උද්ඝෝෂණයේදී රොෂේන් චානක වෙඩිකා මිය ගියේය.පොලීසිය වෙනුවෙන් වගකීම බාරගනිමින් විශ්‍රාම යන්නට දින කිහිපයක් ඉතුරුව තිබූ හිටපු පොලිස්පතිතුමා ඉල්ලා අස්විය.දින කිහිපයකින් රටේ ජනතාවට රොෂෙන් චානක යනු කවරෙක්දැයි අමතක විය.

එම සිදුවීම වී ටික දිනක් ගතවන විට ඉන්ධන මිල ඉහල යෑමට එරෙහිව හලාවතදී කල උද්ඝෝෂණයට එල්ලවූ වෙඩි පහරින් ඇන්තනී ප්‍රනාන්දු මිය ගියේය.රොෂෙන් චානක මෙන්ම ඇන්තනි ප්‍රනාන්දුද ටික දිනකින් මිනිසුන්ගේ මතකයෙන් බැහැරවිය.

අතීත සිදුවීම් වර්තමානයේදි නැවත නැවතත් සිදුවේය යන කියමන යතාර්ථයක් බවට පත්කරමින් පානීය ජලය ඉල්ලා රතුපස්වලදී සිදුවූ උද්ඝෝෂණය අතරතුර සිදුවූ වෙඩි ප්‍රහාරයකින් එයට කිසිදු සම්බන්ධයක් නොතිබූ පාසල් සිසුන් දෙදෙනෙක් ඇතුළු කිහිප දෙනෙක් ජීවිතක්ෂයට පත්විය.සිද්ධිය සිදුවූ දිනවල මාධ්‍ය මගින් පුවත් මවන සිදුවීමක් වූ එය මාධ්‍යට මෙන්ම රටේ බහුතරයකටද බොහෝ සෙයින් අමතකව ගොසිනි.

14 හැවිරිදි දැරියක් දූෂණය කල,කාන්තාවන් සිය දෙනෙකු සමග ලිංගිකව එක්වීම නිමිත්තෙන් සාද දැමූ බවට ප්‍රචලිතවූ සාරුව සුනිල් නීතියේ රැහැනට හසුවිය.නමුදු ඔහුගේ සියළු ජඩකම් අමතක එක්තරා කාලකණ්නි මහජන පිරිසක් (සමාවෙන්න...මෙයට වඩා ඔවුන්ට ඇමතීමට ශිෂ්ඨ වචනයක් මගේ භාවිතාවේ නැත.) ඔහු මුදවා ගන්නට පෙලපාලි ගියේය.අවසානයේදි සාරුව සුනිල් නිදහස් විය.
විද්‍යුත් මාධ්‍යය මගින් අසන්නට හෝ දකින්නට නොලැබුණත් සාරුවා අතින් දූෂණය වූ දැරිය සියදිවි නසාගත් බවට මුද්‍රිත මාධ්‍යක පලවූ පුවතක් මිතුරෙකු විසින් එවා තිබුනි.නොමිනිස් සමාජයක ඉපදීමේ වරදට වන්දි ගෙවූ ඒ දැරිය මෙන්ම එයට වගකිවයුත්තන්ද ලාංකිකයන් ඉක්මණින් අමතක කර දැම්මේය.

මේ උදාහරණ කිහිපයක් පමණි.ලියනවානම් නිමක් නැතිව මෙවැනි සිදුවීම් පිලිබඳව ලිවිය හැක.කෙසේ නමුත් රොෂෙන් චානකලා,ඇන්තනීලා කලින් කලට මතක් වෙන පිරිසක්ද නැත්තේ නොවේ.ඒ දේශපාලකයන්ය...
දේශපාලන වේදිකාවේදි ඔවුන් රොෂෙන් චානකලාව ඡන්දය ලබාගැනීම උදෙසා හොඳ හැටි Market කරති.ඡන්දය ලබාගත් පසු යලි ඔවුන්ව අමතක කර දමති...
බලයේ සිටියදී ජනතාවට චන්ඩි පාට් දැමූ,ජනතාව පීඩනයට ලක්කල දේශපාලකයෝ තමන් කිසිදිනක එවැන්නක් නොකලා සේ ඡන්දයක් එළැඹි කල මහජනතාවගේ දෙපා මුලට ඡන්දය සිඝමින් පැමිනෙති.විසිල් පාර ගසා හුරේ දමන ජනතාවද ඡන්දය දී ඔවුන්ව නැවත පත්කරගනී.

මේ ලංකාවේ හැටිය.ලංකාවේ 99% ක් ජනතාවගේ හැටිය.ආසියාවේ ආශ්චර්ය කියන්නෙත් මෙසේ අමතක වීමේ සහ කිරීමේ රෝගය බරපතල ලෙසටම ජනතාවට වැළඳී ඇති නිසාදැයි කියා විටක සිතේ.අද මේ සටහන කියවන බොහෝ දෙනෙකුට හෙට දවසේදී මේ සත්‍යය අමතක වනු ඇත.


රටක්,ජාතියක් හෝ අඩුම ගණනේ පෞද්ගලිකව තමන්ගේ දියුණුව උදෙසා හෝ ඉදිරියට යෑමට නම් අනිවාර්යෙන්ම මේ අමතක වීමේ සහ කිරීමේ රෝගය සුව කරගත යුතුමය.අතීත සිදුවීම් යලි යලිත්
සිදුනොවීම පිණිස අතීතයෙන් පාඩම් ඉගෙන ගත හැක්කේ එවිටය.එසේ නොවන්නට මේ සියල්ල යලි යලිත් මේ ලක්දෙරණ මත සිදුවෙනවා ඇත.ඒවා අසා දැක, “අනේ අපොයි“ කියමින් කම්මුලේ අත තබාගෙන සිට ටික දිනකින් කිසිවක් සිදුනොවූවා සේ හිඳින්නට ජනතාවට වෙනවාද නිසැකය.


පසු සටහන -

බෝවත්තේ ඉන්දරතන හිමියනි...ඔබ වහන්සේ එවන් කැපකිරීමක් කලේ මෙවන් ජනතාවක් සිටින රටකය.ඉදින්...එයින් පලක් වේද යන්න නම් සැක සහිතය.ඔබ වහන්සේ ජීවතුන් අතර සිටියා නම් කරන්නට තිබූ දේ අපමණය...නමුත් සියල්ල සිදුවී අවසන්ය...

Friday, November 8, 2013

මගේ දේශපාලක සිහිනය... - My politician dream...

පි හැමෝටම හීන තියෙනවා.අපි හීන දකින්න පටන් ගන්නේ පුංචි කාලේ ඉඳන්.ඒ අනාගතේ ගැන.ඒ කාලේ ඉස්කෝලෙදි අනාගතේ කවුරු වෙන්නද කැමති කියලා අහපුවම අපි එක එක දේවල් කිව්වා කියලා හැමෝටම මතක ඇතිනේ...කට්ටිය දොස්තරලා,ඉංජිනේරුවෝ වෙන්න හීන දකිද්දි කවුද කොල්ලෙක් කිව්වළුනේ ඌ තාත්තා කෙනෙක් වෙන්න හීන දකිනවා කියලා.
ඉතිං ඒ මොනා උනත් මේ හීනත් ගොඩක් අයට කාලෙන් කාලෙට වෙනස් වෙනවා.කාලෙන් කාලෙට එක එක හීන දැක දැක උන්නු මාත් ඔන්න මේ ලඟදි ඉඳලා අළුත් හීනයක් දකිනවා...ඒ තමා දේශපාලකයෙක් වෙන හීනය...







“මට ඕනි ලොක්කෙක් වෙන්න
 ඉතිං...
 මම හිතුවා දේශපාලකයෙක් වෙන්න...

 චේ ගුවේරා කැස්ත්‍රෝලා
 කුණු මුල්ලට වීසි කරලා...
 එකතු කරපු පොත් පත්තර
 කඩල ඔතන්නට විකුණලා...

 මං යනවා ඉගෙන ගන්න
 බොරු කියන්න...ගසා කන්න...
 මට ඉහලින් යන එවුන්ගේ 
 අඬු කඩන්න...බෙලි කපන්න...

 අවනීතිය රජ කරන්න
 යුක්තිය දඟගෙට යවන්න...
 පරම්පරා හත අටකට
 හම්බකරලා ගොඩගහන්න...

 අද ඉඳලා ට්‍රයි කරනවා
 දේශපාළුතුමෙක් වෙන්න...
 (සමාවෙන්න...දේශපාලකයෙක් වෙන්න...)

ඉතිං අවශ්‍ය කරන සුදුසුකම් තියනවනම් බ්ලොග් අවකාශයේ ඇත්තන්ටත් පුළුවන් දේශපාලකයෙක් වෙන්න ට්‍රයි කරන්න...ඕනිනම් අපිටත් සපෝට් කරන්න බැරියැ...අනික ඉතිං මේ ඉන්දියන් සාගරයේ අමුතු ඇටේ පඳුරකට පයින් ගැහුවත් මැති ඇමතිලා දෙතුන් දෙනෙක් විසික් වෙන එකේ,අනාගතේ දවසක අපිටත් අඩුගානේ මන්ත්‍රී කෙනෙක් වෙන්නවත් බැරි වෙන එකක් නෑ..............................

Tuesday, November 5, 2013

වේට්ටිය දොර උඩ...එතුමා ගෙදර...- A Story of uncle Rathnayaka...01

මේ ටිකේ ලියන්නට වෙන්නේ සිතන් ඉන්නා දෙය නොව ඊට හාත්පසින්ම වෙනස් දෙයකි.හවස ගෙදර යන්නට බසයෙන් බසින තුරුම සිතා උන්නේ ලියන්නට සිතා සිටි නවකතාවේ පලවෙනි කොටස දමන්නටය.නමුත් අද කියන්නට යන කතාවේ කතානායකයා මතකයට නැගුනු පසු ඔහු පිළිබඳ ලියන්නට සිත් විය.

රත්නායක (ඇත්ත නම එහෙම නෙමෙයි හොඳේ...) මාමා හිටපු ග්‍රාම නිලධාරියෙකි.දැන් පෙන්ෂන්ය. පෙන්ෂන් ගොස් කලක් ගතවන තෙක් ඇඳි ආරිය සිංහල ඇඳුමට සමුදී මෑතක සිට කොල්ලන් අඳිනා T-shirt එකකින් හා කලිසමකින් සැරසී කව්බෝයි තොප්පියක්ද දමාගෙන සුපුරුදු හම් බෑගයද ගෙන යනු මෑතක සිට දකින්නට හැකිවිය.ඔහු එසේ උවද,ඔහුගේ සොයුරන් බොහොමයක්ම නොයෙක් ක්ෂේත්‍ර වලින් සමාජයේ පිළිගත් පුද්ගලයන්ය.මෑතක් වනතුරුම පාහේ ඔහු කිසියම් මානසික ගැටළුවක් උදෙසා බෙහෙත්ද පාවිච්චි කලේය.

මේ සිද්ධිය උනේ එතුමා රාජකාරි කල අවධියේය.ඒ කියන්නේ අපි පුංචි උන් සංධියේය.වර්තමාන බොහෝ රාජ්‍යය සේවකයන් මෙන් රත්නායක මාමාද රාජකාරි කරනවාට වඩා ගෙදරට වී නිස්කාංසුවේ සිටිමට ප්‍රිය කලේය.මොකද රාජකාරි කරන්න යන්නට තිබ්බෙත් නිවසේ ඉඳන් 40-45 Km විතර ඈත ගමක නිසාය.
නමුදු පරහකට තිබ්බේ රාජකාරි දවස්වල ගෙදර ඉන්නට බැරි කමය.ඒ කාලයේ ගම්වැසියන් තුල තිබුනේ ග්‍රාම නිලධාරි ගැන බිය මුසු ගරුත්වයකි...ඒ නිසා රාජකාරියට ගොස් පොත අත්සන් කර ඉක්මනින් ගෙදරට පැනගත්තාට ගම්වැසියන් ඒ ගැන එතුමාගෙන් හේතු අසන්නට යන්නේ නැත...ගැටළුව ඇත්තේ තම උසස් නිලධාරියෙක් නොදන්වා හදිස්සියේ පැමිණියොත්ය.

මේ ගැන දහ අතේ කල්පනා කල රත්නායක මාමාට ඝණ දෙවි නුවණ පහල උනා වැනි අයිඩියා එකක් මීටර් විය...ඊලඟ රාජකාරි දවසේ කාර්්‍යාලයට ගිය රත්නායක මාමා පොත අත්සන් කර පැමිණ සිටි දෙතුන් දෙනාගේ රාජකාරි වැඩද ලහි ලහියේ කරදී පිටත් කර යැවීය.ඊගාවට අසල තිබූ වැසිකිලියට වැදී දොර වසාගත් රත්නායක මාමා එතෙක් වේලා හැඳසිටි වේට්ටිය ගලවා වෙනත් වේට්ටියකින් සැරසුනේය.හැඳ සිටි වේට්ටිය ගෙන වැසිකිලියේ දොර උඩින් දමා එලියට විත් යලි දොර වැසුවේය.දැන් බලන කෙනෙකුට පෙනෙන්නේ ග්‍රාමසේවකතුමා වැසිකිලියේ කියාය.ඊලඟ තප්පරයේදි බෑගයද අතට ගත් රත්නායක මාමා හොර රහසේම ගෙදරට එන්ටර් විය.

දෙයියනේ කියා පහල වූ අපූරු අදහසේ අනුහසින් කලක් ගතවන තුරුම රත්නායක මාමා නිදහසේ රාජකාරි දවසේ වැඩි කොටසක් විවේක සුව වින්දේය.ඒත් කාලයක් ගතවන විට ගමේ උදවියට මේ වැඩේ දිරෙව්වේ නැත.උදේ පාන්දර ග්‍රාමසේවක තුමා පැමිණෙන විටම වගේ එන්නට බැරි උනොත් දවල් වී රාජකාරි කටයුත්තක් කරගැනීම බොරුය.දිනක් දිසාපති කාර්්‍යාලයට ගිය පිරිසක් මේ ගැන පැමිණිලි කලේය.

පැමිණිල්ල විභාග කරන්නට පත් කර තිබුනේ එහි සිටි පරිපාලන නිලධාරියෙකි.තමන්ම පැමිණ මේ ගැන සොයා බලන බව පවසා ඔහු පිරිස යලි පිටත් කර එවිය.කියූ පරිදිම ඊළඟ දිනයේදි ඔහු රත්නායක මාමාගේ කාර්්‍යාලයට ගියේය.දෙයියෝ බැළුවා සේ එදිනට කිරීමට රාජකාරි රැසක් තිබූ හෙයින් ඔහු කාර්්‍යාලයට වී බරසාරෙට වැඩය.
ඒත් ඊලඟ දිනයේ සිට ඔහු යලිත් සිය අපූරු අදහසේ මහිමයෙන් රාජකාරි දිනවලද විවේක සුව වින්දේය.බැරිම තැන ගම්වැසියන් යලිත් පැමිණිලි කරන්නට ගියේය.

“හොඳයි මම ආපහු දවසක ඇවිත් බලන්නම්.“ කියා පිරිස පිටත් කර හැරි පරිපාලන නිලධාරියා වෙනත් දිනයක ග්‍රාමසේවක කාර්්‍යාලයට ගියේය...එදා රත්නායක මාමා ඉක්මණට ගෙදර ගිය දවසකි...නිලධාරියා ඉදිරිපසින් ගොස් බලද්දි දොර වහලාය.කාර්යාලයේ පැත්තකට ගිය නිලධාරියා දුටුවේ රත්නායක මාමා වැසිකිලි දොරේ පිටතට පෙනෙන්නට වනා ගිය වේට්ටියය.ගම්වාසින් රත්නායක මාමාගේ වේට්ටි සෙල්ලම දන්නේ නැත.රත්නායක මාමා වැසිකිලියේ ඇතැයි සිතූ නිලධාරියා හදිසි ගමනක්ද යාමට තිබූ හෙයින් කතා නොකරම ආපසු යන්නට ගියේය.

ඊලඟ දවසක පරිපාලන නිලධාරියා හමුවන්නට ගිය ගම්මුන්ට ලැබුනේ මෙවැනි පිළිතුරකි.

“ඇයි අයිසේ මෙහෙම බොරු පැමිණිලි කරන්නේ.?මම මේ පාර යනකොටත් ඒ මනුස්සයා යස අපූරුවට Office එකේ හිටියේ.වැසිකිලියට ගිහින් හිටපු නිසා මම කතානොකර ආවේ.“

එදායින් පසු ගම්මුන් යලි පැමිණිලි කරන්නට ගිය වගක්වත්,රත්නායක මාමා කොතෙක් කලක් වේට්ටි සෙල්ලම කලාද යන්නවත් මා නම් දන්නේ නැත...

                           
                                ---- රත්නායක මාමාගේ තවත් කතා ඉදිරියට...----

Popular Posts

Total Pageviews

Powered by Blogger.

Followers

සුළඟ වගේ...... හිටියත් නෑ වගේ...නැතත් හිටිය වගේ....

My Blog List