Friday, March 29, 2013

මේ සංඝායනාවකට කාලයයි...

        
හවල පුරාවටම ගත පෙලපු සැඩ හිරු රැස් වලට මද විවේකයක් දෙන්න වගේ,හිටි හැටියේම තදට පොද වැස්සක් ඇද හැලෙන්න පටන් ගත්තේඅහසේ වැස්සක සේයාවක්වත් නොතිබුනු වෙලාවක.පාර පුරා හිටිය හැමෝම වැස්සෙන් බේරෙන්න අහල පහල තිබ්බ කඩපිල් වලට දුවලා ගියේ, පොද වැස්ස සැර වෙන්න ඒ හැටි වෙලාවක් ගත නොවුනු හින්දා.ටිකක් වෙලා පාර දිහා බලා උන්නු මං කම්මැළිකම යන්නත් එක්ක පත්තරයක් අතට ගත්තත් ඉබේම පාර දිහා බැලුනෙ යාන්තමට දැකපු රුවක් නිසා. 

තදින් ඇද හැළෙන පොද වැස්සෙ කුඩයක්වත් අත නැතිව විදෙස් හිමි නමක් සුපුරුදු ගමනින් ඉදිරියට ඇදෙනවා .වැස්සෙන් බේරෙන්න කඩපිළකටවත් ගොඩ නොවී උන්වහන්සේ නගරය මැදින් ඈතට ගියා.
කිහිප දිනකින් දැනගන්න ලැබුණෙ උන්වහන්සේ අසළ විහාරස්ථානයක වැඩ ඉන්න රුසියන් ජාතික හිමිනමක් කියලා.

ආපහු දවසකදී  නැවතත් මට ඒ රුසියානු හාමුදුරුවෝ මුනගැහුනා...භාෂා ප්‍රශ්නය නිසා එතරම් දුරට අදහස් හුවමාරු කරගත නොහැකි වූවත්,උන්වහන්සේගේ භාෂා විලාෂය හා සතුටින් පිරුණු මුහුණ දකින විට, හැමෝටම දැනෙන්නේ පහන් හැඟීමක්...

තවත් දවසක පාත්‍රයක් අතින් ගත් සවාමින් වහන්සේ නමක් නගරයේ කඩ සාප්පු වලට ගොඩ වෙනවා .බැලූ බැල්මට පිඩුසිඟා වඩිනවා වගේ වුණත් උන් වහන්සේ අත තිබූ පාත්‍රය විවර කළාම ඒ තුළ තිබුණෙ මුදල් විතරයි...ඒකෙ පුදුම වෙන්න දෙයක් නෑ වෙන්නත් පුළුවන්.ඒත් අසළ මුස්ලිම් ජාතිකයෙකුගේ කඩයකින් මුදල් නොලැබුණාම  උන්වහන්සේ (සමාවෙන්න...මේ සිවුරු දාපු පුද්ගලයා) අර මුස්ලිම් තරුණයාට පරුෂ වචනයෙන් බැන වදින්න අමතක ක‍ළේ නෑ.අදටත් මාසයකට දිනක් හෝ දෙකක් නගරයේදී මොහු දකින්න පුළුවන්.


මේ සිද්ධීන් දෙකම හදිසියේ මතක් උනේ මෙවර ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ "වෙනස" වැඩසටහනේදී නාමල් උයනේ භාරකාර පූජ්‍ය වනවාසී රාහුල හිමියන් කළ ප්‍රකාශයක්...


"අපේ ගොඩක් හාමුදුරුවො කරන්නෙ සසර කෙටි කර ගන්න එක නෙවී, දිගුකරගන්න එක."

උන්වහන්සේ එහෙම කීවා


ඒ ප්‍රකාශය මොනතරම් ඇත්තද කියලා  අද සමාජය  දිහා බැලුවම පේනවා.අද පැවිදි වෙන කිදෙනෙක් නිවැරදි අවබෝධයකින් ක්‍රියාකරනවද කියන එක ගැටළුවක්.විදේශිකයන් වැඩි වශයෙන් බුදු දහම වැළඳගෙන ඒ අනුව ක්‍රියා කරද්දි අපේම රටේ සමහරු සිවුරක් දාගෙන උතුම් වූ බුදුදහමට වගේම සිල්වත් ගුණවත් සංඝයා වහන්සේටත් අගෞරව වෙන විධියට හැසිරෙනවා.


උපතින්ම බුදුදහම උරුම කරගෙන එන අපිට වඩා විදෙස් රටවල ඉපිද බුදුදහම වැළඳ ගන්න අය සැබැවින්ම ධර්මයේ හැසිරෙන බවනම් අද වෙනව්ට නොරහසක්.ඒ වගේම ඹවුන් ඒ තුළින් ජීවිතේ දකිනවා.දෙදහස් පන්සිය වසරක ඉතිහාසයක් ගැන පුරසාරම් දොඩන අපි, අපි අතින් අපේ ආගමට වගේම, ජාතියටවත් සැබැවින් මෙහෙයක් වෙනවද කියලා හිතුවොත්;

      
  මට හිතෙන්නේ ,අපි බොහෝ දෙනෙක් කරන්නේ,මහා ලොකුවට අපි බෞද්ධ කියලා ලොකුවට බෝඩ් එකක් ගහගෙන කාට හරි කඩේ යන එක...සිවුරක් නොදරන අපි වගේම, ඇතැම් ස්වාමින් වහන්සේලාත් කරන්නේ ඒක.
රටට පේන්න අපි බෞද්ධ කියනවට වඩා...ආදර්ශයෙන් ඒ බව පෙන්වනු මිස; අනුන් පහත් කරමින්;හෙළා දකිමින්;හැහහැසිරීම බුදුදහමේ ඉගැන්වීම නොවේ.ලෝකයට පේන්න චීවරයක් දරමින් අපේ ඇතැමුන් මේ යන්නේ කොහාටද කියන එක ප්‍රශ්ණයක්.(සමාවන්න, මේ කියන්නේ අපේ රටේ ඉන්න සිල්වත් ..ගුණවත් හිමිවරුන් ගැන නොවේ.උන්වහන්සේලාට හිස නමා ගරුකරනවා.) මෙවැන්නන් නිසා හෙට දිනයේ බුදුසසුනේ පිරිහීම ඇරඹෙන බව නම් කිව හැකියි;

     
  පිරිහෙන්නට හැර බලා ඉමුද, එරෙහිව යමක් කරනවාද කියන එක අපේ වගකිවයුත්තන්ට දැනිය යුතු කාලය මේ කියලයි මට සිතෙන්නේ...දෙදහස් පන්සිය ගණනක බෞද්ධ ඉතිහාසය තම මඩිය තරකරගන්නා හොර චීවර ධාරින් නිසා වැනසෙන්නට දෙනවාද කියා සිතමු.හොර චීවර ධාරින් පමණක් නොව රටේ වගකිව යුත්තෝද, සාමාන්‍ය  පුද්ගලයෝද  මේ විනාශය කරමින් සිටියද, වහාම පියවරක් ගත යුත්තේ හොර චීවර ධාරීන්ගේ ක්‍රියාවන් ගැනයි.මක්නසාද යත්, කැළේ ගහක් නසන්නේ, කැළේ ගහක්ම වන බැවිනි.

Popular Posts

Total Pageviews

Powered by Blogger.

Followers

සුළඟ වගේ...... හිටියත් නෑ වගේ...නැතත් හිටිය වගේ....

My Blog List