Sunday, May 26, 2013

ගති ගුණ අතින් අපි තවමත් වනන්තරේ...

     
   2557 වෙනි සම්බුද්ධත්ව ජයන්තිය,එහෙමත් නැතිනම් වෙසක් පොහෝ දිනය ගෙවිලා ගියා.පසුගිය වසරවල තරම්ම නැතත් යම් කිසි මට්ටමකට මේ රටේ මිනිස්සු වෙසක් උත්සවය සැමරුවා.ඒ කොහොම වෙතත් මීට වසර 15 කට,16 කට උඩදී දැක්ක වෙසක් උත්සවයයි,අදයි අතර ගොඩක් ලොකු වෙනසක් තියෙනවා කියලයි මට නම් හිතෙන්නේ.

  එදා මිනිස්සු මාස ගාණක් තිස්සේ මහන්සිවෙලා හදන,මිනිස්සු රැස් කකා බලන්න ගිය තොරණ අද ගෙදරට වෙලා පරිගණකය ඉස්සරහට වෙලා අන්තර්ජාලයෙන් බලන්න පුළුවන් තැනට යනකම් වෙනස් වෙලා...බටපතුරු,ඉරටු,සව්කොල වලින් හදපු වෙසක් කූඩුව අද බීම බටවලින්,යකඩ කූරුවලින් හදනවා.ඉස්සර වෙසක් එකට සතියකට විතර කලින් ඉඳන් හදපු වෙසක් කූඩු අද පෝයට කලින් දවසේ වෙළඳපලෙන් අරන් එන්න මිනිස්සු පුරුදු වෙලා.වෙසක් උත්සවයත් අද ගොඩක් දෙනා ජීවනෝපාය සලසා ගන්න මාර්ගයක් වෙලා.ඒත් ඒ හැමදේකම දැනෙන්නේ ගොඩක් කෘතිම බවක්.

මේ පාර වෙසක් එකට කලින් රජයෙන් නව නීති හා පනත් කිහිපයක් ගෙන ආවා කියලා ආරංචියි.රජයේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මොන විවේචන තිබ්බත්,ඒ කරපු දේ සම්බන්ධයෙන් පෞද්ගලිකව මම ගොඩක් සතුටු වෙනවා.
මොකද වෙසක් පෝය කියන්නේ ප්‍රතිපත්ති පූජාවට මුල් තැන ලබාදෙන අතරේ,ආමිස පූජාවටත් ප්‍රමුඛත්වයක් ලබාදෙන හා ලබාදිය යුතු දිනයක් මිස ඔළුබක්කෝ නැටවීම වගේ දෙකයි පනහේ සිල්ලර වැඩ කරන්න යොදා නොගත යුතු පූජනීය දිනයක් නිසා.

      මේ මොන විදියකට අපි වෙසක් උත්සවය සැමරුවත් වර්ථමානයේ බුදු දහමින් පෝෂණය වුනු සාරධර්ම,ගුණාංග හා බුදු රජාණන් වහන්සේ දේශනා කල වදාල ධර්ම මාර්ගය සැබෑවටම අනුගමනය කරන බෞද්ධයන් කොතරම් ප්‍රමාණයක් රටේ ඉතිරිව ඉන්නවද කියන එක ගැටළුවක්.

බුදු දහම කියන්නේ නිවැරැදි අවබෝධයෙන් හා දැක්මෙන් වැළඳ ගත යුතු දර්ශනයක්...හැඟීම් වලට වඩා බුද්ධියට මුල් තැන ලබාදිය යුතු දර්ශනයක්...

පසුගිය කාලයේදී බොදුබල සේනාව,රාවණා බලය වගේ සංවිධානවල මාධ්‍ය මගින් දුටු අපේ හාමුදුරුවරුන්ගේ හැසිරීම කොතෙක් නම් දුරට බුදු දහමට අනුගතද යන්න නම් ප්‍රශ්නයක්.

      2500 වසරක සාඩම්බර ඉතිහාසයක් හා සංස්කෘතියක් ගැන උදම් අනන මේ රටේ දිනකට සිදුවන අපරාධ ප්‍රමාණය ඇදහිය නොහැකි තරම්.
දිනකට කොයිතරම් නම් මිණීමැරුම් ප්‍රමානයක් මේ ලංකාවේ සිද්ධ වෙනවද.?
දිනකට දියණිවරු කීදෙනෙක්නම් සිය පියාගෙන්,සහෝදරයන් හා අවශේෂ පුද්ගලයන් අතින් දූෂණය වෙනවද.?
බුදු දහම විකෘති කරමින් ,බුදු දහම විනාශය කරාගෙන යන හොර චීවරධාරීන් හා ගිහියන් කොපමණ දෙනෙක් සිටිනවද.?
දිනකට මොනතරම් නම් ගවයන් හා අවශේෂ සතුන් ඝාතනය වෙනවාද.?

මේවා අදටත් මේ රටේ තියෙන නොවිසඳුනු, නමුත් නිවැරැදිව බුදු දහම වැළඳගත් සමාජයක් මගින් විසඳිය හැකි මට්ටමක ගැටළු...

     අපි කාටවත් මුළු සමාජයක් එකපාර වෙනස් කරන්න බැහැ.මොකද රට හදා මිනිසා හදන්න කවදාවත් බැරි නිසා.කණගාටුවට කරුණ වෙන්නේ වර්ථමානයේ රට යන සිස්ටම් එක වෙන්නේ රට හදා මිනිසා හදන ක්‍රමය වීම.මුළු රටක් වෙනස් කරන්න අපිට බැරි වෙන්න පුළුවන්...ඒත් අපිට අපිව වෙනස් කරගන්න පුළුවන්.හිතුවොත් තවත් එකෙක් දෙන්නෙක් හරි වෙනස් කර/න්නත් පුළුවන්.
                  අසාධාරණය හා අයුක්තිය පිටු දකින්න පුළුවන්,නිවැරැදිව දහමෙහි හැසිරෙන, සැබෑ මනුෂ්‍යත්වයෙන් පිරුණු, කොන්ද පණ තියෙන පුද්ගලයෙක් ඔබ තුලින් බිහිකරගන්න උත්සහ කරන්න.බුදු දහම කියන්නේ ඒකට තියෙන හොඳම මාර්ගයක්.මේ ගෙවීයන 2557 වෙනි වෙසක් පුන් පොහෝ දිනය ඒ සඳහා ඇරඹුමක් ගන්න හොඳ සංධිස්ථානයක් වේවි...

                 "බුදු බණ ඇසුවත් නිරන්තරේ 
                  බුදු බණ කිව්වත් නිරන්තරේ 
                  ගති ගුණ අතින් අපි තවමත් 
                  වනන්තරේ...වනන්තරේ..."

1 comment:

  1. කාලය මැවු වෙනසක අරුම............

    ReplyDelete

Popular Posts

Total Pageviews

Powered by Blogger.

Followers

සුළඟ වගේ...... හිටියත් නෑ වගේ...නැතත් හිටිය වගේ....

My Blog List